කුඩා කල විරුවාව පරදමින් කිමිදෙන නවක තරුව

85

වර්ෂ 2016ක් වූ අගෝස්තු මස 12 වන සිකුරාදා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර “Olympic Aquatics Stadium” පිහිනුම් තටාකය අසලට විශාල ජනකායක් රැස්ව සිටියේ එදා මෙදා තුර පහල වූ ශ්‍රේෂ්ඨතම පිහිනුම්කරුවාට ජයග්‍රාහීව සමුදීමේ බලාපොරොත්තුවෙනි. 

ඔලිම්පික් සටනට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම් නිකුත් කෙරේ

මෙම වර්ෂයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සැවොම බලා සිටි තරගය ආරම්භ වන්නට විය. සියල්ලන් දෑස් දල්වා බලා සිටියේ එම අසහාය ක්‍රීඩකයා මෙම ඉසව්ව ජයගන්නා තුරුය. නමුත් සිදුවන්නට වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයකි. සියල්ල මෙම ක්‍රීඩකයා වෙත අවධානය යොමු කර තිබූ මොහොතක වයස 21 සපිරුණු ලාබල ක්‍රීඩකයෙකු ඔහුට අභියෝගයක් දෙමින් ඉදිරියට ඇදෙන්නට විය. 

කිසිදා ඔලිම්පික් රන් පදක්කමක පහස විඳ නොමැති දේශයක සිට පැමිණි මෙම ලාබාල තරගකරුවා එම ඉසව්ව තත්පර 50.39ක කාලයකින් නිම කරන්නේ මෙම තරගයේ සියළු දෙනා අවධානය යොමු කර තිබූ සුපිරි ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් විසින් තබා තිබූ ඔලිම්පික් වාර්තාව ද ඔහු සමඟම පරාජය කරමිනි. එතැන් පටන් සියල්ල මෙම ක්‍රීඩකයා පිළිබඳව අවධානය යොමු කරන්නට විය. 

පිහිනුම් ලොව රජු පරාජය කරමින් කරලියට පැමිණි මෙම නවකයා නමින් ජෝසෆ් ස්කූලින් වේ. සිංගප්පූරු ජාතිකයෙකු වන ඔහු ඉතිහාසගත වන්නේ “ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ප්‍රථම සිංගප්පූරු ජාතිකයා” ලෙසයි. තරගයෙන් පසුව අදහස් දැක්වූ ජෝසෆ් පවසන්නේ ඔහු පරාජය කළේ ඔහුගේ වීරයා බවය. 

“මට ඕන වුනේ ඔහු (මයිකල්) වගේ වෙන්න. මගේ වීරයා ඔහු. ඔහු නැතිනම් අද මෙය මට නොලැබෙන්න තිබුනා.” යයි ඔහු පවසා සිටියේය. 

වර්ෂ 1995 වූ ජූනි මස 16 වනදා මෙලොව එළිය දුටු ජෝසෆ් තම පවුලේ එකම දරුවා විය. ක්‍රීඩාවට මහත් ලැදි පවුලක සාමාජිකයා වූ ජෝසෆ්, පාසල් වියේ සිටම පිහිනුම් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන්නට විය. 2011 වර්ෂයේ පැවති “Southeast Asian Games” තරගාවලියේ මුල් වටයේ තරග වලට හොඳින් මුහුණ දුන් ඔහු, අවසන් පූර්ව වටයට තේරීමට අපොහොසත් වන්නේ අවසාන මිනිත්තුවේ ඔහුගේ ක්‍රීඩා උපකරණ සංවිධායකයින් විසින් තහනම් කරනු ලැබූ නිසාවෙනි. 

එමඟින් ඔලිම්පික් සිහිනය බොඳ කරගන්නා ජෝසෆ්, 2014 වර්ෂයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්ව තත්පර 51.76කින් අවසන් කරමින් නව ආසියානු වාර්තාවක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනූ ප්‍රථම සිංගප්පූරු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අලුත් කරන්නට සමත් විය. 

ජෝසෆ් ස්කූලින් තම විරුවා වන මයිකල් සමඟ.

2015 වර්ෂයේ සිංගප්පුරුවේ පැවති “SEA Games” තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ලම ජෝසෆ් ජය ගන්නේ එම ඉසව් සඳහා පිහිටුවා ඇති ජාතික වාර්තා ද අලුත් කරමිනි. දිනෙන් දින තම දක්ෂතා වැඩි දියුණු කර ගන්නා ඔහු, සිංගප්පූරු ජනතාවට නව පදක්කම් බලාපොරොත්තුවක් ගෙන එන්නට විය. 

නැවතත් එම වර්ෂයේම පැවති “FINA World Championships” තරගාවලියේ දක්ෂතා දක්වන ඔහු එම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්නේ ලෝක ශූරතා තරගාවලියක් තුළ පදක්කමක් දිනූ ප්‍රථම සිංගප්පූරු ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 

2016 වර්ෂයේ රියෝ හී පැවති 31 වන ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ජෝසෆ් පැමිණෙන්නේ තම රට ඉදිරියේ පදක්කමක් පැළඳවීමේ සහ තම කුඩා කල සිට විරුවා වූ අසහාය ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් හා තරග වැදීමේ සිහිනය හිතේ පෙරදැරිවයි. මීටර 100 සමනල ආර ඉසව්වේ මුල් අදිරයන් සාර්ථකව අවසන් කරන ජෝසෆ්, සිය හොඳම දක්ෂතාවය අවසන් පූර්ව වටයේ දී පෙන්නුම් කරන්නේ ආසියානු වාර්තා සහ එවර ඔලිම්පික් උළෙලේ එම ඉසව්වට වාර්තා වූ වේගවත්ම කාලය වාර්තා කරමිනි. 

ෆරාගේ ලෝක වාර්තාව හිටපු ලෝක ශූරයා අළුත් කරයි

කිසිදා ඔලිම්පික් රන් පදක්කමක පහස නොබලා තිබූ සිංගප්පූරු ජනයාගේ සිතෙහි ජෝසෆ් වීරයෙකු වන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. අවසන් තරගයට සියල්ල සූදානමින් පසුවන විට ජෝසෆ් තම ප්‍රධානම සිහිනයක් වූ තම විරුවා සමඟ තරග වැදීමට වාසනාව හිමිකර ගන්නා අතර ඔහුට ඇති එකම බාධාව ද එම අසහාය ක්‍රීඩකයා විය. 

මයිකල් ෆෙල්ප්ස්ට සමුදීමට පැමිණි මහත් ජනතාවම පුදුමයට පත් කරමින් එදින වයස 21ක් පමණක් වූ මෙම ලාබාල ක්‍රීඩකයා තරගය ජයගන්නේ තම වීරයාව දෙවන තැනට ඇද දමිමිනි. ඒත් සමඟම සිංගප්පූරු ජාතිකයන්ට ඔලිම්පික් රන් පදක්කමක පහස විඳීමට අවස්ථාවක් ලබා දෙන ජෝසෆ්ව, නැවත පැමිණීමේ දී ඉතා ඉහළ ආකාරයෙන් තම ජනයා විසින් පිළිගන්නට විය. 

ජයග්‍රහණයෙන් පසු ජෝසෆ්ගේ නැවත පැමිණීම 

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු 2017 වර්ෂයේ පැවති “FINA World Championships” තරගාවලියේ දී ඔහු සිය ඉසව්ව ජය ගනියි යැයි සියළු දෙනා බලාපොරොත්තු වූවත් තරගාවලියේ මුල් අදියරන් වල සිටම දක්ෂතා දැක්වූ කැලේබ් ඩ්‍රෙස්ල් හමුවේ පසුබැසීමට සිදුවිය. ඔහුට එම ඉසව්වේ ලෝක පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවන්නේ ඔහු තාවකාලික වීරයෙකු පමණක් ද? යන ප්‍රශ්නාර්තය ඉතිරි කරමිනි. 

කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් වන කොරෝනා නිසාවෙන් ලොව ප්‍රකට ක්‍රීඩා තරගාවලීන් රැසක්…………..

නමුත් සිය පසු බෑමෙන් වසරකට පසු පැවති ආසියානු තරගාවලියේ දී මීටර 100 ඉසව්ව තත්පර 51.04ක කාලයකින් නිම කරමින් නව ආසියානු තරගාවලි වාර්තාවක් පිහිටුවන්නේ තමන් තවමත් අවසන් නැති බව අගවන්නාක් මෙනි. 

මේ වන විට විසිපස් වියේ පසුවන ජෝසෆ්, මෙවර ටෝකියෝ නුවර දී පැවත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. මෙවර මයිකල් ෆෙල්ප්ස් වැනි පිහිනුම් ලොව ප්‍රචලිත ක්‍රීඩකයන් නොමැති වූවත් කැලේබ් ඩ්‍රෙස්ල් වැනි ක්‍රීඩකයන් ඉදිරියේ ජෝසෆ් හට තම ඉසව්වේ ගෞරවය රැක ගැනීමට හැකි වේදැයි ක්‍රීඩාලෝලී සියලු දෙනාම දෑස් දල්වා බලා සිටියි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<