සුපිරි පැසිපන්දු තරුවේ අභාවයේ පින්තූර ගත්තාට වන්දි ඉල්ලයි

286

ඇමරිකානු පැසිපන්දු තරුවක් වන කොබේ බ්‍රයන්ට් සහ තවත් 8 දෙනෙකුට මාරු කැඳවූ හෙලිකොප්ටර් අනතුර සිදු වූ ස්ථානයේ දී ගන්නා ලද ඡායාරූප සම්බන්ධයෙන් බ්‍රයන්ට්ගේ වැන්දඹු බිරිඳට සහ සම පැමිණිලිකරුවෙක්ට ඇමරිකානු ඩොලර් මිලියන 31ක වන්දියක් ගෙවිය යුතු බවට ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට ඊයේ (24) ජූරිය විසින් නියම කර තිබෙනවා.

2020 ජනවාරි මාසයේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ දී අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයින් මියගිය පැසිපන්දු තරුවගේ සහ ඔහුගේ 13 හැවිරිදි දියණියගේ ඡායාරූප ගැනීමත් සමඟ මෙම සිද්ධිය පැනනැගුනා.

වැනීසා බ්‍රයන්ට් සහ අනතුරෙන් සිය බිරිඳ වන සාරා සහ දියණිය වන පේටන් මියගිය ක්‍රිස් චෙස්ටර් ද මෙම සංවේදී ඡායාරූපවලින් ඇති වන හානි වැළැක්වීම සඳහා නඩු පවරා ඇති අතර ඔවුන් පැවසුවේ එම ඡායාරූප යම් දිනක අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවට ඔවුන් බිය වූ බවයි.

අදාළ ඡායාරූප නිසා සිදු වූ සහ ඉදිරියේ දී සිදුවන හානිය නිසා පැය කිහිපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බ්‍රයන්ට්ට ඩොලර් මිලියන 16ක් සහ චෙස්ටර්ට ඩොලර් මිලියන 15ක් වන්දි ලෙස ගෙවන ලෙස ජූරිය නියම කළා.

බ්‍රයන්ට්ගේ බිරිඳ නඩු විභාගය අතර වාරයේ හැඬූ කඳුලින් සිටි අතර තීන්දුව ලබා දීමෙන් පසු මාධ්‍යයට ප්‍රතිචාර නොදක්වාම උසාවි සංකීර්ණයෙන් පිටව ගියා. කෙසේ වෙතත් ඇය පසුව “මම ඔබට ආදරෙයි! මේ සියල්ල ඔබ වෙනුවෙන්! කොබේ සහ ජිජී වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතුයි!,” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය තුල ඡායාරූපයක් පල කරමින් පවසා සිටියා.

අදාළ නඩු විභාගයේ දී පැමිණිලිකරුවන්ගේ ඉතිරි ජීවිත කාලයේ එක වර්ෂයකට ඩොලර් මිලියනය බැගින් හතළිස් හැවිරිදි බ්‍රයන්ට් සඳහා වසර 40කට මිලියන 40ක් ද, 48 හැවිරිදි චෙස්ටර් සඳහා වසර තිහකට ඩොලර් 30ක් ද වශයෙන් වන්දි ලැබිය යුතු බව චෙස්ටර්ගේ නීතිවේදීන් පවසා සිටියත්, මේ සඳහා එතරම් මුදලක් ලබා නොදිය යුතු බවට පසුව තීරණය කෙරුණා.

බ්‍රයන්ට්ගේ නීතිඥයා වන ක්‍රේග් ලුවී පවසා සිටියේ ඔවුන් ඉල්ලා සිටින්නේ ලොස් ඇන්ජලීස් නගරයේ පැසිපන්දු තරුවක් සහ ඔහුගේ වැන්දඹු බිරිඳ වෙනුවෙන් සාධාරණයක් සහ වගවීමක් බවයි.

“මෙය හිතාමතා කළ හැසිරීමකට සාරා, පේටන්, කෝබේ සහ ජියානාගේ ගෞරවය වෙනුවෙන් කරන ඉල්ලීමක්,” යනුවෙන් පැවසූ නීතිඥයා ප්‍රාන්තය එහි සේවකයන් විසින් සිදු කරන නීති උල්ලංඝණය කිරීම් වලට වගකිව යුතු බව ද පවසා සිටියා.

කෙසේ වුවද ප්‍රාන්තය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පවසා සිටියේ මෙය ඡායාරූපයක් සම්බන්ධ නඩුවක් වුවත් කිසිදු ඡායාරූපයක් සමාජගත වී නැති බවයි. තීන්දුව ලබා දීමෙන් පසුව එම නීතිඥයා ඉදිරි පියවර සම්බන්ධයෙන් ප්‍රාන්තය සමග සාකච්ඡා කරන බව පැවසූවා.

මෙම අනතුරේ අනෙකුත් වින්දිතයන්ගේ ආශ්‍රිතයන්ට පසුගිය වසරේ දී මෙම ඡායාරූප සම්බන්ධව සමස්තයක් වශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් වන්දි ලෙස ලැබී තිබුණා.

මෙම නඩු තීන්දුව ලබා දුන්නේ අගෝස්තු 24 (8/24), ලොස් ඇන්ජලීස් නගරය “මාම්බා දිනය” සමරන දිනයේ දී සහ කොබේ බ්‍රයන්ට් වසර විස්සකට වඩා භාවිතා කළ ජර්සි අංක වන 8 සහ 24 අංක සහිත දිනයේ දී වීම විශේෂත්වයක්.

සිද්ධිය සම්බන්ධව පැවැත්වූ පරීක්ෂණවලින් අනාවරණය වූයේ මීදුම නිසා සිදු වූ අවහිරතා හේතුවෙන් ගුවන් නියමුවාට සිය ගුවන් යානය පාලනය කරගැනීමට නොහැකි වූ බවයි. අනතුර සිදු වන අවස්ථාවේ මගීන් ගැහැණු ළමුන්ගේ පැසිපන්දු තරගයක් සඳහා ගමන් කරමින් සිටියා.

කොබේ බ්‍රයන්ට් දශක දෙකකට අධික කාලයක් ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රේෂ්ඨ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර 1996 සිට 2006 දක්වා කාලය තුල පස්වරක් ජාතික පැසිපන්දු ශූරතාවය ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයක්.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<