ඉඩෝරය නිමයි

251
Kohli

ඕනෑම ක්‍රීඩකයෙකු විසින් ටෙස්ට් ශතකයක් වාර්තා කිරීම පුවතකි. එහෙත් ‘Virat Kohli (විරාත් කෝලි) විසින් ශතකයක් වාර්තා කිරීම’ පුවතක් නොවූ කාලයක් ද විය.

ඒ වන විට ටෙස්ට් ඉනිම් 142ක දී ඔහු විසින් වාර්තා කරගෙන තිබූ ශතක ගණන 27කි. එවැන්නෙකු විසින් ශතකයක් වාර්තා කිරීම පුවතක් නොවේ. ඔහු එතරම් අඩු කාලයකින් ශතක ගොන්නක හිමිකාරිත්වය දැරූ විශිෂ්ට පිතිකරුවෙකි. එහෙත් 28 වැනි ශතකය ඔහුට දුන් වධ හිංසා අපමණ ය.

එහෙත් ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව 2023 මාර්තු මාසයේ දී ශතකයක් වාර්තා කළේ 2019 නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් වාර්තා කරමින් පසුව ගතවූ වේදනාත්මක ඉනිම් 41කට පසු ය. එය පුවතකි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කිසිදු රටකට එරෙහිව ඔහුට ලකුණු 40ට අඩු සාමාන්‍යයක් නැත. හාස්‍යජනක ලකුණු දත්තයක් ලෙස පැවසිය හැක්කේ බංග්ලාදේශයේ දී ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 14.75ක් වීම ය.

ඉන්දියානු තණතීරු කෙතරම් පිතිකරණ හිතවාදී වුවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන ලොව සෑම රටක දී ම පාහේ (බංග්ලාදේශය හැර) කෝලි දස්කම් දැක්වූවේය. වේගය, ඉපිලීම, දෝලනය, දඟ කැවීම යන ඕනෑම අභියෝගයක් කෝලි විසින් ජයගෙන ඇත. ජයගෙන නැත්තේ නවදැලි හේන්වල ලකුණු රැස් කිරීමේ අභියෝගයයි.

බංග්ලාදේශයේ දී කෝලි අසාර්ථක ය. එහෙත් හිතට එකඟව බංග්ලාදේශ තණතීරු නිර්වචනය කළ හැක්කේ ඒවා නවදැලි හේන් ලෙස ය. බංග්ලාදේශ ජාතිකයන් මෙම ලිපිය කියවන්නේ නැත. සතුටු ය. එහෙත් 2019 වසරෙන් පසුව විරාත් කෝලි ටෙස්ට් පිතිකරණයෙන් අසාර්ථක වුනේ ඔහු ක්‍රීඩා කළ තණතීරු සියල්ල හේන් වූ නිසා නම් නොවේ.

ඔහුට යම් ගැටලුවක් තිබුණි. කොවිඩ් වසංගතය නිසා ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගණ වල ක්‍රීඩා කිරීමට සිදුවීමත්, එක දිගට විවිධ දේශගුණික තත්වයන් යටතේ ජෛව බුබුලක සිරවී සිටීමට සිදුවීමත් ඒ ලකුණු ඉඩෝරයට හේතු විය හැකිව තිබුණි. එම ලකුණු ඉඩෝරය නිසා කෝලිගේ එක්දින පිතිකරණ රිද්මයත්, විස්සයි විස්ස පිතිකරණ රිද්මයත් කඩා වැටිණි. ලොව වැඩිම ජාත්‍යන්තර ශතක ලාභියා වීමේ ගෞරවය දිනා ගැනීමට වේගයෙන් දිවයමින් සිටි කෝලිගේ රිද්මය බිඳ වැටීම ක්‍රිකට් විචාරකයන් තුළ ඔහු පිළිබඳ සැකයක් ජනිත කළේය.

කුමක්ද කෝලිගේ අර්බුදය?

කෝලිට අදාළ වාර්තාව පසු කළ හැකි ද? කෝලි මෙසේ අසාර්ථක වන්නේ නම් සචින් ටෙන්ඩුල්කාර් වසර 20කට අධික ක්‍රිකට් දිවියක දී එක දිගට ලකුණු රැස්කිරීමෙන් කෝලිට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින්නට ඇති ද? කිසිවෙකු කෝලිට එරෙහිව දේවාලයක පොල් ගැසුවාවත් ද?

එහෙත් 2021 දී ඔහුට ලබා දුන් කෙටි විවේක කාලය විසින් ඔහුගේ සීමිත පන්දුවාර පිතිකරණයට යම් ජවයක් ලබා දෙනු අපි දුටිමු. එතැන් පටන් වැටි වැටී නැගිටි කෝලි ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය දා වාර්තා කළ ලකුණු 186ත් සමඟින් දෙපයින් සිටගත්තේය.

ලකුණු 50කටත් ඉහළින් තිබූ කෝලිගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 2019න් පසුව ශීඝ්‍රයෙන් පහළට ඇදවැටිණි. එය ඉහළ නංවාගත යුතුය. ඊට ශතක ප්‍රමාණවත් ද නැත. විශාල ශතක අවැසි ය. පසුගිය දා වාර්තා කළ ලකුණු 186 ද්විත්ව ශතකයක් නොවීම ගැන කනගාටුවක් ඇතිවන්නේ එවිට ය. එහෙත් ඔහු දැවී ගියේ අවසන් පිතිකරු ලෙස ය.

මෙතැන් පටන් ලොව අනෙකුත් ටෙස්ට් කණ්ඩායම්වලට කිව යුත්තේ “ප්‍රවේසම් වන්න”ටැයි කියා ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<