දෙවසරකට පසු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නැවතත්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල 2022

284

කොරෝනා වසංගතය නිසාවෙන් 2019 වසරින් පසුව පැවැත්වීමට නොහැකි වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර තරගාවලිය නොවැම්බර් 22, 23, 24, 25 සහ 26 යන දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තරගාවලි සංවිධායකයින් වන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තරගාවලියේ මූලික සංවිධාන කටයුතු අධ්‍යාපන අධ්‍යක්ෂක දයා බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක උපාලි අමරතුංග, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක රුවන් පතිරණ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක දිල්රුවන් ජයවර්ධන සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රහාත් ඉන්දික යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

තරගාවලිය සුපුරුදු පරිදි මෙවරත් අන්තර් පළාත් මට්ටමින් පැවැත්වෙන අතර අවුරුදු 12න්, 16න්, 17න්, 18න් සහ 20න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට අයත් කණ්ඩායම් සහ ක්‍රීඩා බර පංති සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත අතර පළමු අදියර සැප්තැම්බර් 17, 18 සහ 19 දක්වාත්, දෙවැනි අදියර සැප්තැම්බර් 23, 24, 25 සහ 26 දක්වාත්, අවසන් අදියර ඔක්තෝබර් 01, 02, 03 සහ 04 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියට සුදුස්සන් තෝරාගැනීම සඳහා පවත්වන කලාප තරග ජුනි 15වැනිදාට පෙර සහ පළාත් තරග සැප්තැම්බර් 10 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය නිවේදනය කර තිබුණා.

දිවයින පුවත්පත් ඇසුරිනි.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<