ලෝක ශූරියෝ හමුවේ දුලංගිගේ දස්කම් කැපී පෙනෙයි

3954

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තෙවැනි තරගය අද (14) එංගලන්තයේ ලිවර්පූල් නුවර ‘M&S Bank Arena’ ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අතර එය ලකුණු 99-24ක් ලෙස ඕස්ට්‍රේලියාව පහසුවෙන් ජයග්‍රහණය කළේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග තුනම පරාජවලින් අවසන් කරමිනි.

19 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවෙන් 9 උතුරු අයර්ලන්තයට සටනක්

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු…

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් තරගාවලියේ මීට පෙර සහභාගී වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 79-49ක් ලෙසත්, පසුව පැවති උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 67-50ක් ලෙසත් පරාජයට පත්වූ අතර මෙවර ඔවුන් හමුවේ පැවති අභියෝගය වූයේ ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. 

තරගයේ ආරම්භක සංචිතයට තර්ජිනී සිවලිංගම් වෙනුවට එලිලෙන්තනී සේතුකාවලර් ඇතුළත් කර තිබුනත් තරගය ආරම්භ වී මිනිත්තු 7ක කාලයක් ගතවන්නට පෙර ඇය වෙනුවට තර්ජිනී කණ්ඩායමට ආදේශ කරනු ලැබීය. 

කෙසේ නමුත් තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ පළමු ලකුණ ලබා ගැනීමට හැකි වූයේ ප්‍රතිවාදී ලකුණු පුවරුව ලකුණු 04ක් ලෙස දැක්වෙන විට දී ය. 

ඉන් අනතුරුව ද ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර ඔවුන්ගේ වේගවත් පන්දු හුවමාරු කරගැනීමේ ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ග්‍රහණය කරගැනීමට අපහසු විය. අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් පන්දු හුවමාරු කරගැනීමේ දී සිදු වූ අතපසුවීම් ඔවුන්ගේ ලකුණු ලබාගැනීම අඩපණ කරන්නට විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ දෙවන ලකුණ වාර්තා කරන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 9ක් ලෙස දැක්විය. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කෙමෙන් තරගයට අවතීර්ණ වන්නට සමත් වුවත් ඔවුන්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ ලකුණු ලබාගැනීම අඩපණ කිරීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව තරගයේ පළමු කාර්තුව නිමා වූයේ ඕස්ට්‍රේලියාව ලකුණු 20-07ක් ලෙස ප්‍රබල තත්වයක පසුවෙමිනි. 

තරගයේ දෙවන කාර්තුවට වඩාත් ප්‍රබල ආරම්භයක් ලබා ගත් ඕස්ට්‍රේලියාව එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් අඛණ්ඩව ලකුණු 10ක් වාර්තා කරගත්තේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගනිමිනි. ඒ අනුව එම අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණ වාර්තා වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එහි දී ලකුණු 10ක් ලබාගෙන සිටින විට දී ය. 

එහි මැද භාගය පමණ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 16ක් වාර්තා කර ගනිද්දී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිව තිබුණේ ලකුණු 5ක් පමණි. එහි අවසාන මිනිත්තු කිහිපය තුළ දී ද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය තවදුරටත් දියත් කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් එම කාර්තුව අවසන් කළේ ලකුණු 27-08ක් ලෙස එහි දී ද පෙරමුණ ගනිමිනි. (පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 47 – 15 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී හොඳ සටනක් දෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු…

මෙම කාර්තුවට ද ප්‍රබල ආරම්භයක් ලබා ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාවට පළමු ලකුණ ලබාගැනීමට හැකි වූයේ ඔවුන් ලකුණු 5ක් ලබාගෙන සිටින විට දී ය. එහි දී තරගය ආරම්භයේ ‘Wing Attack’ ස්ථානයේ ක්‍රීඩා කළ පසුව ‘Goal Attack’ ස්ථානයට මාරු කරනු ලැබූ දුලංගි වන්නිතිලක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වුවත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට තරගයට අවතීර්ණ වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර ඒ අනුව එහි අවසන් මිනිත්තු කිහිපය වන විට එම කාර්තුවේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 23-07ක් ලෙස ඕස්ට්‍රේලියාව ප්‍රබල තත්වයක පසුවෙමිනි. 

අනතුරුව එහි අවසන් මිනිත්තු කිහිපය තුළ අඛණ්ඩව තවත් ලකුණු 5ක් එක්කරගත් ඔවුන් එම කාර්තුව අවසන් කළේ ලකුණු 28-07ක් ලෙස ඉදිරියෙන් රැඳෙමිනි.

තරගයේ සිව්වැනි හා අවසන් කාර්තුවේ දී, ඒ වන විටත් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ඈතට ගොස් තිබුනත් එහි දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු ලකුණ රැස්කළ වහාම ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද එම කාර්තුවේ ඔවුන්ගේ පළමු ලකුණ වාර්තා කරගන්නට සමත් විය. 

අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් එම කාර්තුවේ 5 වැනි ලකුණ වාර්තා කරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව එහි දෙවන ලකුණ වාර්තා කරගන්නට සමත් විය. එම කාර්තුවේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුළුමනින්ම අඩපණ කරමින් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ලකුණු 19ක් වාර්තා කරගනිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට කිසිදු ලකුණක් වාර්තා කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත.  

Photos: Sri Lanka vs Australia | Group A | Netball World Cup 2019

ThePapare.com | 15/07/2019 Editing and re-using images without….

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාර සාර්ථක කරගැනීමේ ප්‍රතිශතය 82% සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතියත් ඔවුන්ට ලකුණු වාර්තා කරගැනීමට වැඩි උත්සාහයන් ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා සාරා ක්ලෝ විසින් තර්ජිනීව ඉතා හොඳින් ආවරණය කිරීම හේතුවෙන් ඇය හරහා ලකුණු ලබාගැනීමේ උපක්‍රමය සාර්ථක වූයේ නැත. 

අනෙක් පසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගෝල ප්‍රහාරකයින් වන කැට්ලින් ත්වේට්ස් සහ ස්ටෙෆ් වුඩ් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළේ ඔවුන්ගේ පහරවල් 102න් 99ක් සාර්ථක කරගනිමිනි.  

ඒ අනුව ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කරගත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගනිමිනි. අනෙක් පසින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ‘A’ කාණ්ඩයේ සියලුම තරග පරාජයට පත්වීම නිසා ඔවුන්ට තරගාවලියේ පළමු කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය. තරගයේ වීරවරිය ලෙස කෙල්සි බ්‍රවුන් නම් කෙරුණි. (සම්පූර්ණ කාලය: ඕස්ට්‍රේලියාව 99 – 24 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව මීළඟට පළමු වටය අවසානයේ සියලුම කාණ්ඩවල සිව්වැනි ස්ථානය දිනා ගත් කණ්ඩායම්වලින් සමන්විත ‘E’ කාණ්ඩය සඳහා යොමු වනු ඇත.  

තරගාවලියේ තෙවන දිනය වූ අද දිනයේ පැවති අනෙක් තරග වල ප්‍රතිඵල මෙසේයි.

නවසීලන්තය – සිංගප්පූරුව 

සිංගප්පූරුව පරාජයට පත්කරමින් නවසීලන්තය ලකුණු 89-21ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය. 

  • පළමු කාර්තුව: නවසීලන්තය 20 – 05 සිංගප්පූරුව 
  • දෙවන කාර්තුව: නවසීලන්තය 23 – 03 සිංගප්පූරුව 
  • තෙවැනි කාර්තුව: නවසීලන්තය 20 – 06 සිංගප්පූරුව 
  • සිව්වැනි කාර්තුව: නවසීලන්තය 26 – 07 සිංගප්පූරුව 

මලාවි – බාබඩෝසය 

බාබඩෝසය පරාජයට පත්කරමින් මලාවි කණ්ඩායම ලකුණු 65-41ක ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී. 

  • පළමු කාර්තුව: මලාවි 17 – 09 බාබඩෝසය 
  • දෙවන කාර්තුව: මලාවි 18 – 11 බාබඩෝසය 
  • තෙවැනි කාර්තුව: මලාවි 17 – 9 බාබඩෝසය 
  • සිව්වැනි කාර්තුව: මලාවි 13 – 12 බාබඩෝසය 

එංගලන්තය – සැමෝවා  

සාමෝවා කණ්ඩායම හමුවේ එංගලන්තය ලකුණු 90-24ක පහසු ජයක්‌ හිමිකරගනු ලැබීය. 

  • පළමු කාර්තුව: එංගලන්තය 22 – 07 සැමෝවා  
  • දෙවන කාර්තුව: එංගලන්තය 21 – 04 සැමෝවා  
  • තෙවැනි කාර්තුව: එංගලන්තය 22 – 07 සැමෝවා  
  • සිව්වැනි කාර්තුව: එංගලන්තය 25 – 06 සැමෝවා  

උගන්ඩාව – ස්කොට්ලන්තය 

ස්කොට්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් උගන්ඩාවට ලකුණු 52-43ක තියුණු ජයක් හිමි විය. 

  • පළමු කාර්තුව: උගන්ඩාව 16 – 11 ස්කොට්ලන්තය 
  • දෙවන කාර්තුව: උගන්ඩාව 13 – 10 ස්කොට්ලන්තය 
  • තෙවැනි කාර්තුව: උගන්ඩාව 11 – 12 ස්කොට්ලන්තය 
  • සිව්වැනි කාර්තුව: උගන්ඩාව 12 – 10 ස්කොට්ලන්තය 

නව පුහුණුකාරිණිය, කණ්ඩායම් නායිකාව සහ උපනායිකාව තරගාවලි ගැන දැක්වූ අදහස්

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ …….


සිම්බාබ්වේ – උතුරු අයර්ලන්තය 

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව උතුරු අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 51-49ක ජයක් හිමිකරගන්නට සමත් විය.

  • පළමු කාර්තුව: සිම්බාබ්වේ 12 – 15 උතුරු අයර්ලන්තය 
  • දෙවන කාර්තුව: සිම්බාබ්වේ 15 – 12 උතුරු අයර්ලන්තය 
  • තෙවැනි කාර්තුව: සිම්බාබ්වේ 12 – 12 උතුරු අයර්ලන්තය 
  • සිව්වැනි කාර්තුව: සිම්බාබ්වේ 12 – 10 උතුරු අයර්ලන්තය

දකුණු අප්‍රිකාව – ජැමෙයිකාව

මෙහි දී පැවති තවත් උණුසුම් තරගයක දී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ලකුණු 55-52ක් ලෙස ජැමෙයිකාව පරාජයට පත්කරන ලදී. 

  • පළමු කාර්තුව: දකුණු අප්‍රිකාව 16 – 09 ජැමෙයිකාව
  • දෙවන කාර්තුව: දකුණු අප්‍රිකාව 16 – 12 ජැමෙයිකාව
  • තෙවැනි කාර්තුව: දකුණු අප්‍රිකාව 10 – 17 ජැමෙයිකාව
  • සිව්වැනි කාර්තුව: දකුණු අප්‍රිකාව 13 – 14 ජැමෙයිකාව

ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ – ෆීජි

ෆීජි කණ්ඩායම පරාජයට පත්කරමින් ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ කණ්ඩායම ලකුණු 67-56ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. 

  • පළමු කාර්තුව: ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ 23 – 10 ෆීජි
  • දෙවන කාර්තුව: ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ 17 – 15 ෆීජි
  • තෙවැනි කාර්තුව: ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ 17 – 15 ෆීජි
  • සිව්වැනි කාර්තුව: ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ 10 – 16 ෆීජි

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<