ගෝමතිගේ දඬුවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වාසි

769

2019 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 දිවීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකා ගෝසති මාරිමුත්තු තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් ඇයට එරෙහිව වසර හතරක තරග තහනමක් පැනවීමට තීරණය කළ බව පසුගිය දා නිවේදනය කරන ලදි.

ලෝක ශූරියට වසර දෙකක තහනමක් පනවයි

එම තහනමත් සමඟින් ඇය විසින් 800m ඉසව්වේ දී ලබා ගත් ජයග්‍රහණය අවලංගු වන අතර හතරවැන්නා ලෙස එම ඉසව්ව නිමා කළ ලාංකික මලල ක්‍රීඩිකාවක වන ගයන්තිකා අබේරත්නට එහි ලෝකඩ පදක්කම හිමි වීමට නියමිතව පවති.

අප්‍රේල් මාසයේ පැවති මෙම තරගාවලියේ 800m ඉසව්ව මිනිත්තු 2:02.70කින් අවසන් කරමින් ජයග්‍රහණය කරන්නට ගේමති සමත් වූ නමුත් තරගාවලියෙන් මාසයකට පසුව එනම් පසුගිය වසරේ මැයි මාසයේ දී ඇය තහනම් උත්තේජක ලබා ගත් බවට පරීක්ෂණවලින් හෙලි වූ බව නිවේදනය කෙරුණි.

පසුව ඇය විසින් B සාම්පල පරික්ෂාවක් ඉල්ලා සිටි අතර එම පරීක්ෂණයෙන් ද ඇය තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසාවෙන් ඇයට 2019 වසරේ මැයි මස 17 වැනිදා සිට 2023 වසරේ මැයි මස 16 වැනිදා දක්වා වසර හතරක තරග තහනමක් පැනවීමට “Athletics Integrity” ඒකකය කටයුතු කරන ලදි.

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

ඒ අනුව ඇය විසින් 2019 වසරේ මාර්තු මස 18 වැනිදා සිට මැයි මස 17 වැනිදා දක්වා ලබා ගත් සියලූම ජයග්‍රහණ අවලංගු වන බැවින් පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී 800m ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් චීන ක්‍රීඩිකා “Wang Chunyu” හට රන් පදක්කමත්, (මිනිත්තු 2:02:96) ලෝකඩ පදක්කම දිනා ගත් කසකස්තාන ක්‍රීඩිකා මාගරීටා මුඛශිවා හට රිදී පදක්කමත්, (මිනිත්තු 2:03.83) ශ්‍රී ලාංකික  ක්‍රීඩිකා ගයන්තිකා  අබේරත්න හට ලෝකඩ පදක්කමත් (මිනිත්තු 2:05.04) හිමි වීමට නියමිතව ඇත.

ගයන්තිකා අබේරත්න 2019 ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අතුරතුර දී

කෙසේ නමුත් මෙම සිදුවීම ගැන අදහස් දක්වමින් තහනමට ලක්වූ ක්‍රීඩිකා ගෝමති මාරිමුත්තු ප්‍රකාශ කර සිටියේ තමන් කිසි විටකත් තහනම් උත්තේජක නොගත් බවට තමන් හට විශ්වාස බවයි.

“මම මේ පිළිබඳව ක්‍රීඩා අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරනවා, නමුත් මට එයට ප්‍රාන්ත රජයේ සහය අවශ්‍යයි. මට විශ්වාසයි මම කිසිම දිනක තහනම් උත්තේජක ගත්තේ නැහැ කියලා. සමහර විට මම ගත්ත නිර්මාංශ ආහාරවල එම තහනම් ද්‍රව්‍ය තියෙන්න ඇති. 

ඉන්දියානු තහනම් උත්තේජක විරෝධී ඒකකය විසින් ප්‍රකාශ කර තිබෙනවා මම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදීත් තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වුනා කියලා. නමුත් ඔවුන් මේ පිළිබඳව ආසියානු තරගාවලියට පෙර මා දැනුවත් කළා නම් මෙම අපහසුතාවයට මුහුණ නොපාන්න ඉඩ තිබුණා” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

පසුගිය ආසියානු මලල ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගි වූ නමුත් ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා තම තමන්ගේ පෞද්ගලික දක්ෂතාවයන් කරා ළඟාවීමට පවා අසමත් වූ අතර විදූෂා ලක්ෂානි විසින් තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් දිනා ගත් ලෝකඩ පදක්කම තරගාවලිය පුරාවටම දිනා ගත් එකම පදක්කම විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<