පැරාලිම්පික් විජයග්‍රහණය කළ ක්‍රීඩකයින්ට බරටම තෑගි

210

2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට මෝටර් රථ දෙකක් තිළිණ කිරීමට ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජපානයේ සිට මෙරටට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ දී එම තිළිණ ලබා දීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන සංජීව් ගුණසේකර මහතා ද සහභාගී වී සිටියා. 

දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් බිඳ හෙළමින් මෙරටට පළමු පැරාලිම්පික් රන් පදක්කම් දිනා දීමට මෙවර පැරාලිම්පික් උළෙලේ දී සමත් වූ අතර සමිත සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලාංකික පැරාලිම්පික් කණ්ඩායම අද (07) ජපානයෙන් පිටත් වීමට නියමිත අතර ඔවුන් හෙට (08) පස්වරුවේ දී මෙරටට ළඟා වීමට නියමිතයි.

එමෙන්ම මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වෙමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ප්‍රදානය කරන මුදල් ත්‍යාග පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ අතර එයට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කැබිනට් අනුමැතිය ලබා ගත් බව ද ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව රන් පදක්කම ජයග්‍රහණය කළ ක්‍රීඩකයා හට මිලියන 50ක මුදලක් සහ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා හට මිලියන 20ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හිමි වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ ලෝක වාර්තාව පිහිටවූ දිනේෂ්  ප්‍රියන්ත හට රුපියල් මිලියන 10ක මුදලක් සහ සමිත දුලාන් හට මිලියනයක මුදලක් ද ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබුණා.

මීට අමතරව 4 වැනි ස්ථානයේ සිට 8 වැනි දක්වා ස්ථානය දක්වා ස්ථාන දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මිලියන 2.5ක මුදලක් සහ 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ස්ථාන දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මිලියනයක මුදලක් ද ලබා දීමට නියමිතයි. ඊට අමතරව ජයග්‍රහණ දිනූ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් හට මිලියන 19.125ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පැරාලිම්පික් ඉතිහාසයේ සාර්ථකම පැරාලිම්පික් උළෙල ලෙස මෙවර පැරාලිම්පික් උළෙල හැඳින්විය හැකි අතර මෙවර තරගාවලියේ දී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟ පදක්කම් සටහනේ 57 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<