Anwar Aliගෙන් දසුන්ට පැසසුම්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

5433

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ අවසන්. මේ වන විට Jaffna Stallions, Dambulla Viiking සහ Colombo Kings අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. 

තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බවට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Dambulla Viiking කණ්ඩායම මේ වන විට පත්ව ඇත. ඔවුන් සහභාගී වූ තරග 6න් 5ක් ජයග්‍රහණය කර ඇති අතර ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන ඇත. 

Dambulla Viiking සහ Galle Gladiators අතර පසුගිය දා පැවති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට Dambulla Viiking සමත් වූ අතර තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට Anwar Ali සමත් විය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ද ඔහුටය.

තරගයෙන් අනතුරුව ඔහු සිය කණ්ඩායමේ දක්ෂතා සහ නායකයා ගැන අදහස් දැක්වීමට එක්ව තිබුණි.

“තරගයේ එක වෙලාවක දී අපි දැක්කා ධනුෂ්ක ගුණතිලක සහ Azam Khan හොඳින් ක්‍රීඩා කරමින් හිටියා. ඒ වෙලාවේ අපේ සැලසුම වුනේ අපේ ප්‍රධාන පන්දු යවන්නන් යොදාගෙන එක කඩුල්ලක් ගන්න. අපි දැනගෙන හිටියා එක කඩුල්ලකින් අපිට ආයෙත් තරගයට එන්න පුළුවන් වෙනවා කියලා. 

මේ තරගයේ දී අපි දැක්කා අපේ කණ්ඩායමේ පිතිකරණය ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. මුල් පිතිකරුවන් තුන්දෙනාම ලොකු වගකීමක් ඉටු කළා. පසුගිය තරග දෙක තුනේ දී ඔවුන් සාර්ථක වුනේ නැහැ. විශේෂයෙන් දික්වැල්ල සහ තරංග. 

මේ තරගයේ දී ඔවුන් සාර්ථක වුනා. ලකුණු 100ක සමසම්බන්ධතාවක් ගොඩනැගුවා. ඒ වගේම ඔවුන් දෙදෙනාම ලකුණු 50ක් වාර්තා කළා. ඒත් එක්ක අපේ කණ්ඩායමේ පිතිකරුවන්ගේ ලොකු විශ්වාසයක් ගොඩනැගුණා. ඒක කණ්ඩායමක් විදිහට අපිට ලොකු උදව්වක් වුනා. 

තරගයේ දී අපිට ලොකු පීඩනයක් තිබ්බා සමහර අවස්ථාවල. මම විශ්වාස කරන දෙයක් තමයි ඒ වගේ වෙලාවල් වලදී අපි සන්සුන් වෙන්න ඕනේ. සන්සුන් වෙලා අපේ මූලික දේවල් වලට යොමුවෙන්න ඕනේ. ඒවට අවධානය යොමු කරන්න ඕනේ. අපි පුහුණුවීම්වල දී හැමවෙලේම උත්සාහ කරනවා යෝකර් පන්දු යවන්න. කඩුල්ලට යවන යෝකර් වගේම වයිඩ් යෝකර් ගැන අපි අවධානය යොමු කරනවා. ඒ වගේම වේගය අඩාල කල පන්දුත් මේ වගේ තණතීරුවකට ගොඩක් වැදගත් වෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

තරගය ගැන කියනවා නම් තරගයේ තීරණාත්මකම වෙලාව වුනේ 19 වැනි පන්දුවාරයේ මට කඩුලු දෙකක් දවා ගන්න පුළුවන් වුන එක කියලා මම හිතනවා. ඒ වෙලාවේ නායකයා මට කිව්වේ සන්සුන් වෙලා මූලික දේවල් ගැන අවධානය යොමු කරලා යෝකර් පන්දු වගේම වේගය අඩාල කරපු පන්දු යොදාගන්න කියලා. 

අපේ නායකයා ගැන කියනවා නම් ඔහු ඉතාමත් දක්ෂ නායකයෙක්. ඒ වගේම ඔහු ඉස්සරහ ඉඳන් කණ්ඩායම මෙහෙයවනවා. ඒක ගොඩක් ලොකු දෙයක් කණ්ඩායමට. ඔහු පිතිකරණයේ දී වගේම පන්දු යැවීමේදීත් ඉතාමත් හිටපු හොඳ රිද්මයක ඉන්නවා. ඔහු වැදගත් කඩුලු කීපයක්ම දවාගත්තා. 

තරගාවලිය ගැන කියනවා නම් අපි මේ තරගාවලිය ගොඩක් හොඳින් ක්‍රීඩා කළා කියලා මම හිතනවා. ඒ වගේම ඉදිරියේදීත් ඒ වගේම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (06) කිසිදු තරගයක් නොපැවැත්වෙන අතර හෙට දිනයේ දී Colombo Kings සහ Galle Gladiators අතර තරගය සහ Jaffna Stallions සහ Dambulla Viiking අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<