මැක්ස්වෙල් සහ මිලර් පන්ජාබ් ජය තහවුරු කරයි

703
IPL T20

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණ හිමිකර ගන්නට ග්ලේන් මැක්ස්වෙල්ගේ නායකත්වයෙන් යුතු කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ ශේන් වොට්සන්ගේ නායකත්වයෙන් යුතු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්කම් දැක්වීය. නමුත් තරග 5ක් අවසන් වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

ගුජරාට් සිංහයින්ට ක්‍රිස් ලින්ගෙන් සුපිරි ප්‍රහාරයක්

මේ වන විට දෙවතාවක්ම ඉන්දියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනාගෙන සිටින ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (07) පැවති තරගයේ දී වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් පන්ජාබ් නායක ග්ලේන් මැක්ස්වෙල් මුලින් පන්දුවට පහර දීමට පූනේ කණ්ඩායමට ඇරයුම් කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් පමණි. පූනේ පළමු කඩුල්ල ආරම්භයේදීම දැවී යාමත් සමග නායක ස්මිත් සහ රහානේ මුම්බායි තරගයේදී මෙන්ම ඉනිම පිළිසකර කිරීමේ කාර්‍යය ඇරඹුවත් මෙවර ඔවුන්ට එතරම් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට නොහැකි විය. කලින් තරගයේ දී නොදැවී ලකුණු 84ක් වාර්තා කරමින් පූනේ කණ්ඩායමට ජය මාවත පෙන්වූ ස්ටීවන් ස්මිත්ට ඊයේ දිනයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 26ක් පමණි.

මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 71ක් තුල බිඳ වැටී අසරණ වුනු රයිසින් පූනේ කණ්ඩායමට යම් සහනයක් ගෙන දෙන්නට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ පන්දු 32 අර්ධ ශතකයට හැකි විය. ඉනිමේ අවසන් භාගය හතරේ පහර 2කින් සහ හයේ පහර 3කින් වර්ණවත් කිරීමට ඔහු සමත් වෙද්දී මනෝජ් තිවාරි ද වේගවත් පිති හරඹයක යෙදෙමින් පන්දු 23කින් නොදැවී ලකුණු 40ක් රැස් කර ගත්තේය. පන්දු යැවීමේ දී සන්දීප් ශර්මාට කඩුලු 2ක් හිමිවිය.

ලකුණු 164ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි පන්ජාබ් මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම යම් ආරම්භයක් ලබා ගත්තද එය විශාල ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූයේ නැත. ඒ හේතුවෙන් ඔවුන්ගේ මුල් කඩුලු 4 ලකුණු 85ක් තුල බිඳ වැටුණි. නමුත් විස්සයි විස්ස තරග රටාවේ පෙරළිකරුවන් දෙදෙනෙකු වන ග්ලේන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් මිලර් ලකුණු 79ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නගමින් පන්ජාබ් කණ්ඩායමට ජය හිමිකර දුන්හ.

තම පළමු IPL නායකත්ව අත්දැකීම ජයග්‍රහණයකින් සැරසූ මැක්ස්වෙල් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 44ක් ද, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 30ක් ද රැස්කර ගත්හ. තරගයේ වීරයා සම්මානය ද ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ට හිමිවිය.

රයිසින් පූනේ – කඩුලු 6ක් දැවී ලකුණු 163 (පන්දුවාර 20): බෙන් ස්ටෝක්ස් 50, මනෝජ් තිවාරි 40*, ස්ටීවන් ස්මිත් 26, අජින්ක්‍යා රහානේ 19, සන්දීප් ශර්මා 2/33, ස්වප්නිල් සින් 1/14, තංගසාරු නටරාජන් 1/26.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 4ක් දැවී ලකුණු 164 (පන්දුවාර 19): ග්ලේන් මැක්ස්වෙල් 44*, ඩේවිඩ් මිලර් 30*, හෂිම් අම්ලා 28, අක්සා පටෙල් 24, ඉම්රාන් තහීර් 2/29, අශෝක් ඩින්ඩා 1/26.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය

මෙවර IPL තරගාවලියේ 5 වැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ රෝයල් චැලේන්ජර්ස් නායක ශේන් වොට්සන්ටයි. එහි දී තම කණ්ඩායමට සහය දැක්වීම සඳහා බැංගලෝර් පිටියට ඒකරාශි වුනු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරිපිට දී ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට සමත් වූහ.

ඊයේ දිනයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපහසු යැයි සැලකෙන සුවිශේෂී පහර කිහිපයක්ම තම ඉනිම තුලට කැටි කල කෙඩාර් ජාදව්ගේ ලකුණු 69 රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 8කට ලකුණු 157ක් රැස්කර ගැනීම උදෙසා බොහෝ සෙයින් උපකාරී විය. නායක ශේන් වොට්සන් ද ලකුණු 24ක් රැස් කර ගත් නමුත් ශබාස් නදීම්ගේ විශිෂ්ට පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව පිටිය හැර යන්නට ඔහුට සිදුවිය. නිමාවුනු රන්ජි කුසලානයේ දී කඩුලු 58ක් දවා ගත් දක්ෂ පන්දු යවන්නෙකු වන ශබාස් නදීම් ඊයේ තමන් ක්‍රියාත්මක කල පන්දුවාර 4ටම ලබා දුන්නේ ලකුණු 13ක් පමණි. මීට අමතරව ක්‍රිස් මොරිස් ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලීය.

මෙම ඉලක්කය හඹා යාමට උත්සාහ කල දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 142කට සීමා වන්නට සිදුවිය. දිල්ලි ඉනිම පුරාවටම කඩුලු බිඳ වැටීම ඔවුන්ට මෙම තරගයේ දී ජයග්‍රහණය දුරස් වන්නට බොහෝ සෙයින් හේතු විය. රිශාබ් පන්ට් ඊයේ දිනයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 57ක් රැස් කලද ඔහුගේ සහයට වෙනත් පිතිකරුවෙකු නොසිටීම දිල්ලි පිළේ අවාසනාව බවට පත්විය. පන්දු යැවීමේ දී බිලී ස්ටැන්ලේක්, ඉක්බාල් අබ්දුල්ලා සහ පවන් නෙගී අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පිතිකරණයක නියැලුණු කෙඩාර් ජාදෙව්ට හිමිවිය.

රෝයල් චැලේන්ජර්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 157 (පන්දුවාර 20): කෙඩාර් ජාදව් 69, ශේන් වොට්සන් 24, ස්ටුවර්ට් බිනී 16, මන්දීප් සින් 12, ක්‍රිස් මොරිස් 3/21, ශබාස් නදීම් 1/13, පැට් කමින්ස් 1/29.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 142 (පන්දුවාර 20): රිශාබ් පන්ට් 57, සෑම් බිලින්ග්ස් 25, ආදිත්‍ය තාරේ 18, බිලී ස්ටෑන්ලේක් 2/29, ඉක්බාල් අබ්දුල්ලා 2/36.

කෙසේ වෙතත් ඊයේ දිනය නිමා වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන රැක ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව සිටියි. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයිද්‍රාබාද් සහ ගුජරාට් අතර තරගය අද සවස 4ට ද, මුම්බායි සහ කල්කටා අතර තරගය රාත්‍රී 8ට ද ආරම්භ වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට