අයියාට අභියෝග කරමින් LPL පිටියට ආ “කවිඳු”

4655
Kavindu Nadeeshan

දකුණතින් පා දඟපන්දු යවන කවිඳු නදීශාන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Dambulla Viiking කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීඩකයා ය. තවමත් 19 හැවිරිදි වියේ පසුවෙන කවිඳු ගැන ThePapare.com තබන සටහනකි මේ.

“ලොකු අභියෝගයක්. හොඳින් තරගාවලියට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. වයස අවුරුදු19න් පහළ යොවුන් කණ්ඩායමේ තරග අවසන් වූ ගමන් ම ශ්‍රී ලංකා Board XI ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මේ අවස්ථාව. ඇත්තට ම සතුටුයි” කවිඳු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වීම ගැන පවසන්නේ එහෙම. 

කවිඳු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ අයියගෙත්, තාත්තගෙත් අතේ එල්ලිලා. අයියා දිනුක ඩිල්ෂාන්, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන දක්ෂ ඉදිරිපෙළ පිතිකරුවෙක්. දිනුක වගේ ම කවිඳුත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා අල්ලපු වැටේ තිබුණ ධර්මාශෝක විද්‍යාලයේ සිට මෙරට පාසල් ක්‍රිකට් පිටියට තම දක්ෂතා මුදා හළ ක්‍රීඩකයන්. 

“අයියටත් මටත් පුංචි කාලේ සිට ම ලොකු තරගයක් තිබුණා. අපි දෙන්නට අවශ්‍ය වුනේ හැම දේකින් ම පළමුවැනියා වෙන්න. ගෙදරදිත් පාසල් කණ්ඩායම්වලදීත් මේ තරගය තිබුණා. අයිය ලකුණු 50ක් ගැහුවොත් මටත් ගහන්න ඕන වුනා. අයිය විකට් 5ක් ගත්තොත් මටත් ඒක ම කරන්න ඕන වුනා. මේ නිසා අපි ක්‍රිකට් වෙනුවෙන් විශාල මහන්සි වීමක් වුනා. ඒත් ඉතිං පාසල් කාලයේ දී අයිය තමයි ඉදිරියෙන් හිටියේ. ඊට පස්සෙ අයියගෙ තැන මට ලැබුණා. නමුත් ඉතිං කොච්චර අභියෝග කළත් අයිය තමයි මගේ ක්‍රිකට් වීරයා.” 

මේ අයියා-මලෝ දෙදෙනාට ක්‍රිකට් ජීවන හුස්ම එක් කරන්නේ ඔවුන්ගේ පියා, එම්. ඩබ්ලිව්. ප්‍රදීප්. ඔහුට ක්‍රිකට්වලින් තොර ලෝකයක් නැහැ. දක්ෂ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේ ම හොඳ ක්‍රිකට් නරඹන්නෙක්. ඒ ජානවලින් දිනුකත් කවිඳුත් පෝෂණය වෙන්න ඇති. අම්මා ඩී. අනූෂා. කවදාවත් තාත්තලා පුතාලාගෙ ක්‍රිකට් ක්‍රීඩාවට අකුල් හෙළුවේ නැහැ. පුළුවන් ආකාරයෙන් උදව් කළා.

Kavindu Nadeeshan
කවිඳු සහ දිනුක අම්මා සහ තාත්තා සමඟ

“ගෙදරින් ලොකු සහයෝගයක් මුල ඉඳලම ලැබුණා. තාත්තට උවමනා වෙලා තිබුණෙ අපි දෙන්නට ක්‍රිකට් ගස්සන්න. ඒ නිසාම තමයි අම්බලන්ගොඩ පාසල්වලට අපිව දාන්නේ. මගේ මුල්ම පුහුණුකරු වුනේ සුරාජ් සංජීව සර්. දේවානන්දෙ අවුරුදු 2ක් වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කළා. ඊට පස්සේ අවුරුද්දේ දී එම වයස් කාණ්ඩයෙන් සෙල්ලම් කරන්නේ ධර්මාශෝකෙට. එම අවුරුද්දේ මම නියෝජනය කළ කණ්ඩායම පාසල් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නවා. තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වුනේ මම. මේ කාලෙම මම අම්බලන්ගොඩ සිංහ ක්‍රිකට් ඇකඩමියෙත් ක්‍රිකට් ගහනවා” කවිඳු තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භක අවධිය ගැන සිහිපත් කළේ එලෙසින්. 

කවිඳුගේ මේ දක්ෂතා හේතුවෙන් ඔහුට වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ 20 දෙනෙක්ගෙන් යුත් සංචිතයට එක් වෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත් එම වසරේ පැවති මැලේසියා තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට ඔහුට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඔහු ඒ වසරේ නම් කෙරෙන්නේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස. ඊට පසු වසරේ දී ඔහු මැලේසියා සංචාරයේ යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් වෙනවා. 

එම අවුරුද්දේ ම කවිඳු, ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබනවා. ඒ වෙද්දී කවිඳු වඩාත් කතා බහට ලක්වෙමින් සිටියේ දක්ෂ පා දඟපන්දු යවන්නෙක් ලෙසින්. එම වර්ගීකරණයට වටිනාකමක් ලබා දෙන කවිඳු තමන් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මුහුණ දුන් පළමු වසරේ දී ම කඩුලු 60ක් ලබා ගන්නවා. ඉන් නොනැවතෙන ඔහු දෙවැනි වසරේ දී කඩුලු 70ක් ලබා ගනිමින් වඩාත් කතා බහට ලක්වෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.

“ඒ අවුරුදු දෙකේ දී මම කණ්ඩායමට එක් වුනේ පන්දු යවන්නෙක් ලෙසින්. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීමට දැඩි උවමනාවක් තිබුණා. නමුත් මේ කාලයේ දී මම කණ්ඩායමට එක් වුනේ පසුපෙළ පිතිකරුවෙක් විදිහට. අයිය සෙල්ලම් කළේ ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින්. ඔහු පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වුවා. මේ නිසා අපි දෙන්න අතර වූ තරගය තවත් වැඩි වුනා. කොහොම වුනත් මට පිතිකරුවෙක් ලෙසින් ස්ථාවර වෙන්න අයියගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. මම අයියත් සමඟ ලැබෙන හැම වෙලාවේ ම පුහුණුවීම් කළා.  ඊට පස්සෙ අවුරුද්දේ දී මම Bowling all rounder කෙනෙක් ලෙසින් කණ්ඩායම සමඟ එක් වෙනවා. එහෙම ක්‍රීඩා කළ පළමු අවුරුද්දේ ම මම ලකුණු  400ක් සහ කඩුලු 50ක් ලබා ගන්නවා. ඊට පස්සෙ අවුරුද්දේ දී ලකුණු 600ක් සහ කඩුලු 58ක් ලබා ගන්න මට හැකි වෙනවා.”

Kavindu Nadeeshan
සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින්.

කවිඳුගේ මේ දක්ෂතා හේතුවෙන් 2018/19 වසරේ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී සදර්න් කණ්ඩායම නියෝජනය කරන්නටත් සහ 2000 වසරේ පැවති Super 4 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී නුවර කණ්ඩායමත් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. 

2019/20 පාසල් ක්‍රිකට් තරග සමය ආරම්භ වෙන්නේ කවිඳුට ධර්මාශෝක විද්‍යාලයේ නායකත්වය හිමි වෙමින්. ඒ 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් හැටියට. නමුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම හා රැඳී සිටීම හේතුවෙන් කවිඳුට පාසල් තරග කිහිපයකට පමණයි සහභාගී වෙන්න ලැබෙන්නේ.    

“ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා. නමුත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ තිබෙන ලොකුම බලාපොරොත්තුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කිරීම. මම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තා. ඒ කණ්ඩායම තුළ විශේෂ දක්ෂතා දැක්වීමටත් මට හැකි වුනා. මම හිතනවා මම මගේ පාසලට ලබා දුන් ලොකුම ජයග්‍රහණය සහ ගෞරවය ඒක කියලා.”

Kavindu Nadeeshanකවිඳු පළමු වරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම හා එක්වෙන්නේ 2019 පාකිස්තාන තරග සංචාරය සඳහා. ඊට පසුව මෙරට දී පැවති ආසියානු යොවුන් ශූරතා තරගාවලිය නියෝජනය කිරීමට ද බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවති එංගලන්තය ද සහභාගී වූ තුන්කොන් තරගාවලියට ද එක් වීමට වරම් ලබනවා. තුන්කොන් තරගාවලියේ තරග 6කට සහභාගී වෙන කවිඳු කඩුලු 18ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙනවා. කවිඳු අවසන් වරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙන්නේ යොවුන් ලෝක ශූරතා තරගාවලිය වෙනුවෙන්. 

“මේ ලැබූ අවස්ථාවන් ගැන ගොඩක් සතුටු වෙනවා. මට මේ දක්ෂතාවන් අතරට එන්න හැකි වෙන්නේ වසරක් වැනි ඉතා කෙටි කාලයක දී. මේ ගමනේ දී ගොඩක් පුහුණුකරුවන්ගෙන් උපදෙස් ලැබුණා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් අතුරින් සචිත් පතිරණ සර් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඔහු මා වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා” කවිඳු පැවසුවා.

කවිඳුගේ දක්ෂතා අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද – ධර්මාශෝක සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරග මාලාවේ මතක සටහන් ද තිබෙනවා. එහි ජයග්‍රාහී 2018 සහ 2019 වසර ද්විත්වයේ දී ධර්මාශෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෙන්නේ කවිඳු. 2018 වසරේ පැවති 51 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ ද කවිඳු. ඇගයීම් සම්මාන කුසලාන නොලැබුණත් 2019 වසරේ පැවති 52 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ තම සහෝදරයා වන දිනුක ඩිල්ශාන් කණ්ඩායමේ නායකයා වෙද්දී දිනුක උපනායකයා ලෙසින් කටයුතු කළා. ඒකත් සුවිශේෂී මතකයක් කියලයි කවිඳු කියන්නේ. 

“මගේ පාසල් ජීවිතයේ වැඩියෙන්ම දක්ෂතා දක්වන්න ලැබුණෙ අයියගේ නායකත්වය යටතේ. ඒ ගැන සතුටුයි. අයියත් හොඳ දක්ෂතා අතර හිටියා. නමුත් මම අයියට වඩා ඉක්මන් වුනා. ඒත් ඉතිං Club ක්‍රිකට්වලින් අයිය මට කලින් ඉක්මන් වෙනවා.”

තවත් විශේෂාංග ලිපි:

කවිඳුගේ අයියා, දිනුක මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තමන් මුහුණ දුන් මංගල පළමු පෙළ තරගයේ දී ම ශතකයක් වාර්තා කරමින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූ ක්‍රීඩකයෙක්. මුවර්ස් පිටියේ දී පැවති එම තරගයේ දී දිනුක පන්දු 297කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 118ක් ලබා ගන්නවා.

කවිඳුට පළමු පෙළ ශතකයක් වාර්තා කරන්න ලැබෙන්නේ තමන් මුහුණ දුන් තෙවැනි තරගයේ දී. ඒ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 122ක් ලබා ගනිමින්. පනාගොඩ යුද හමුදා කඳවුරු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ඒ තරගයේ දී කවිඳුගේ ඉනිමට පන්දු 284ක් වැය වෙනවා. හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඊට අයත්. එදා කවිඳු සී. සී. සී. කණ්ඩායම නියෝජනය කළත් මේ වන විට රැඳී සිටින්නේ කොළඹ එස්. එස්. සී. කණ්ඩායම සමඟ. 

“ලොකු ගමනක් ආවා. තවත් දුර යන්න තිබෙනවා. Bowling all rounder කෙනෙක් ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වීමට බලාපොරොත්තු වෙනවා වගේ ම දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම තමයි එක ම බලාපොරොත්තුව. මේ වෙනුවෙන් ලැබෙන හැම අවස්ථාවක් ම හොඳින් උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මම දැනට පැමිණි ගමනේ දී විශාල පිරිසක් මා වටා සිටියා. පාසල් දෙකේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, කණ්ඩායම් භාර ගුරුවරුන්, පුහුණුකරුවන් සහ මාත් සමඟ ක්‍රීඩා කළ අයත් විද්‍යාලයීය ප්‍රජාවත් විශේෂයි. ඊට පසුව මම එක් වූ කණ්ඩායම්වල පුහුණුකරුවන් සහ නිලධාරීන් මෙන් ම සහෝදර ක්‍රීඩකයන් ද ඒ අතර සිටිනවා. ඔවුන් සෑම කෙනෙක්ට ම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මගේ අම්මත්, තාත්තත් සහ අයියත් මා වෙනුවෙන් දක්වන ලැබැඳියාව ද මගේ ගමනට විශාල ශක්තියක්” කවිඳු නදීශාන් පැවැසුවා. 

මේ උත්සාහවන්ත යෞවනයාට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<