ලංකා ප්‍රිමියර් ලීගයේ සුපිරි දක්‍ෂතා 10

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

231

Jaffna Stallions ශූරතාව දිනා ගනිමින් පසුගිය දා අවසන් වූ අභිනව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පුරාවට ඊට සහභාගී වූ දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් කැපී පෙනෙන දක්‍ෂතා රැසක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසිණි.

ඒ අනුව තරගාවලිය තුළ කණ්ඩායමක සාර්ථකත්වය කරා අපට හැඟෙන පරිදි වඩාත්ම ඉවහල් වූ එවන් දක්‍ෂතාවයන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළෙමු. 

Jaffna Stallions තරගාවලිය තුළ සහභාගී වූ දෙවන තරගයේ දී ඔවුන්ගේ නායක තිසර පෙරේරා සිය ඉහළම දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූයේ පන්දු 44ක දී නොදැවී ලකුණු 97ක ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමිනි. 

ඔහුගේ එම ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 7කින් වර්ණවත් වන්නට විය. එහි දී තිසර 9 වැනි පන්දුවාරයේ දී පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණෙන විට Stallions ලකුණු 64කට කඩුලු 5ක් දැවී ඉතා අසීරු තත්වයක පසුවන්නට වූ නමුත් සිය ජවසම්පන්න පිතිහරඹය ඔස්සේ ඔහු දියත් කළ මෙම විශිෂ්ට ඉනිම හරහා Viiking පන්දු යැවීමේ බලඇණිය මුළුමනින් ම බිඳ වැටෙන්නට විය. 

ඒත් සමඟම ඔහු සිය කණ්ඩායම හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යන්නට සමත් වූ අතර අවසානයේ එය ඔවුන්ට තරගයෙන් ලකුණු 66ක ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර දෙන්නට ඉවහල් විය.

Galle Gladiators ඔවුන් සහභාගී වූ පළමු තරග 5ම පරාජයට පත්ව සිටි පසුබිමක Amir විසින් තරගාවලිය තුළ පන්දු යවන්නෙකු දියත් කළ විශිෂ්ටතම පන්දු යැවීමේ දක්‍ෂතාවයන් අතරින් එකක් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ සිය කණ්ඩායමේ ඉරණම වෙනස් කිරීමට අවශ්‍ය අඩිතාලම දමා දෙන්නට සමත් විය. 

එහි දී ඔහු ඉදිරිපෙළ මෙන්ම පසුපෙළ කඩුලු ද දවා ගනිමින් සිය පන්දුවාර 4 අවසන් කළේ ප්‍රතිවාදීන් හට ලකුණු 26ක් පමණක් ලබා දෙමින් ඔවුන්ගේ කඩුලු 5ක් දවා ගනිමිනි. මෙය තරගාවලිය තුළ එක් ඉනිමක දී පන්දු යවන්නෙකු වාර්තා කරගත් පළමු හා එකම කඩුලු 5 ලෙස සටහන් වන්නට වූ අතර ඒ අනුව මෙම Gladiators තරගය ජයග්‍රහණය කරමින් ඔවුන් මෙහි දී ලබා ගත් උද්වේගය අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ම රැගෙන යන්නට සමත් විය.

තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ධනංජය ලක්‍ෂාන් ක්‍රීඩා කළ සෑම තරගයක දී ම පාහේ ඔහු සිය කණ්ඩායම කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන්නට සමත් විය. 

කෙසේ නමුත් ඔහු සිය ඉහළම දක්‍ෂතාවය Galle Gladiators සහ Colombo Kings අතර පැවති තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී එළිදක්වන්නට සමත් වූයේ පළමුව පන්දු යවමින් ලකුණු 27කට දිනේෂ් චන්දිමාල්ගේ සහ තික්‍ෂිල ද සිල්වාගේ කඩුලු දවා ගනිමින් අනතුරුව පන්දුවට පහර දෙමින් පන්දු 23ක දී ඉවසිලිවන්ත මෙන්ම තීරණාත්මක ලකුණු 31ක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය තහවුරු කරදෙමිනි. ලක්‍ෂාන් තරගාවලිය පුරාවට නිරන්තර කඩුලු අතර සිටින්නට සමත් වුවත් මේ ඔහු පිතිකරණයෙන් ඔහුගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව යි.

Shoaib Malik තරගාවලිය පුරාවට තරමක් දුරට දක්‍ෂතා අතර සිටින්නට සමත් වුනත්, එහි අවසන් මහා තරගයේ දී ඔහු පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද එක ලෙස ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 

Jaffna Stallions කණ්ඩායමේ පිතිහරඹය තරගාවලියේ ආරම්භයේ සිටම ඔවුන්ට ගැටලුවක්ව පැවති අතර අවසන් මහා තරගයේ දී ද Malik පිටියට පැමිණියේ ලකුණු 66කට ඔවුන්ගේ කඩුලු 2ක් දැවී තිබූ පසුබිමක ය. 

ඒ අනුව Stallions ඉනිම ගොඩනැඟීමේ භාරදූර කාර්යභාරය ඔහුට පැවරෙන්නට වූ අතර ඔහු එහි දී ධනංජය ද සිල්වා සමඟ එක්වෙමින් එය අකුරටම ඉෂ්ට කළා පමණක් නොව අනෙක් පසින් ප්‍රතිප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කරමින් ප්‍රතිවාදී Gladiators පසු පාදයට ඇද දමන්නට ද සමත් විය. 

ඒ අනුව සිය කණ්ඩායම අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණ 188ක හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට විශාල දායකත්වයක් ලබා දීමෙන් අනතුරුව Malik පන්දුවෙන් කඩුලු 2ක් ද දවා ගන්නට සමත් විය. ඒ අතරට භානුක රාජපක්ෂගේ තීරණාත්මක කඩුල්ල ද අයත් වන්නට වූ අතර ඔහුගේ මෙම දක්‍ෂතා හරහා Stallions මෙම තරගයෙන් ලකුණු 53ක පහසු ජයග්‍රහණයක් හිමිකරගනු ලැබීය.

තරගාවලිය ආරම්භයේ දී සිය උපරිම දක්‍ෂතා අතරට ළඟාවන්නට අපොහොසත්ව සිටියත්, Laurie Evans කෙසේ හෝ LPL ඉතිහාසයේ පළමු ශතක ලාභියා ලෙස සිය ස්ථාපිත කරගන්නට සමත් විය. 

ඒ තරගාවලියේ ප්‍රබලතම පන්දු යැවීමේ බලඇණිය වූ Stallions හමුවේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 60ක් පමණක් වය කරමින් අගනා ශතකයක් වාර්තා කරගනිමිනි. එම තරගයේ දී වෙනත් කිසිඳු Kings පිතිකරුවෙකු ලකුණු 25 සීමාව පසුකර යන්නට අසමත් වූ නමුත් ඔවුන්ට Stallions හමුවේ තරගාවලිය තුළ අඛණ්ඩ දෙවන ජයග්‍රහණය වාර්තා කරගන්නට Evansගේ මෙම ඉනිම හරහා අවස්ථාව සැලසිණ. 

තරගාවලියේ අවසන් පූර්ව වටයේ අවසන් ස්ථානය වෙන්කර ගන්නා කණ්ඩායම තීරණය වන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු තරගයක දී Galle Gladiators වෙනුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස හඳුන්වා දිය හැකි දනුෂ්ක ගුණතිලක යළිත් වරක් සිය දකෂතා කලඑළි නංවන්නට සමත් විය. 

ඒ අනුව Gladiators හට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 127ක පහසු ඉලක්කයක් හිමිවන්නට වූ අතර එහි දී ඉනිමේ අවසානය දක්වාම රැඳී සිටිමින් දක්ෂ පිතිහරඹයක් දියත් කළ දනුෂ්ක පන්දු 66ක දී ලකුණු 94ක් වාර්තා කරගත්තේ ඔවුන්ගේ ජයග්‍රහණය ඉතා පහසුවෙන් තහවුරු කරමිනි. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වෙද්දී පන්දුවාර 3ක් සහ කඩුලු 9ක් අතැතිව ඔවුන් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගනු ලැබීය.

මෙවර LPL තරගාවලිය තුළ Colombo Kings පන්දු යැවීමේ බලඇණියේ තරුව බවට පත්වූයේ Qais Ahmad ය. කෙසේ නමුත් Viikingට එරෙහිව පැවති තරගාවලියේ අවසාන ලීග් තරගාවලියේ දී ඔහු සිය පිතිකරණ කුසලතාවය ද මැනෙවින් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. ඒ එහිදී පන්දු 22ක දී වේගවත් ලකුණු 50ක් වාර්තා කරගනිමිනි. 

අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණි ඔහු මුහුණ දුන් පළමු පන්දු 6 තුළ ලකුණු 5ක් පමණක් වාර්තා කරගත්තේ තරගයට අවතීර්ණ වීමට මද වේලාවක් ගතකරමිනි. අනතුරුව Kingsට තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට නම් පන්දු 14ක් තුළ ලකුණු 30ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර එහි දී ක්‍රියාත්මක වූ Qais ඔහු මුහුණ දුන් ඊළඟ පන්දු 7 දී හයේ පහර 5ක් වාර්තා කරගත්තේ තවත් පන්දුවාරයක් ම ඉතිරිව තිබිය දී සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙමිනි.

තවත් කියවන්න;

Dambulla Viiking තරගාවලිය තුළ සහභාගී වූ පළමු තරගයේ දී තරමක් අපහසු තත්වයක පසුවෙද්දී පන්දුවට පහර දීමට පිටියට පිවිසි නායක දසුන් ශානක පන්දු 37ක දී වේගවත් ලකුණු 73ක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරනු ලැබීය. 

ඔහුගේ එම ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වන්නට වූ අතර තවදුරටත් ඔහු එහි දී Samit Patel සමඟ එක්වෙමින් ලකුණු 127ක විශිෂ්ට සබඳතාවක් ද ගොඩනංවනු ලැබීය. ඔහුගේ එම දායකත්වය හරහා Viiking ඔවුන්ගේ ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 195ක් වාර්තා කරගන්නට සමත් වෙමින් අවසානයේ තරගයෙන් ඉතා තියුණු ජයග්‍රහණයක් ද සනිටුහන් කරගන්නා ලදි.

වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 5 බැගින් වන පරිදි කප්පාදු කිරීම හරහා Andre Russell හට කිසිඳු පීඩනයකින් තොරව නිදහසේ සිය විනාශකාරී පිතිහරඹය දියත් කිරීමට ලැබුණු බලපත්‍රයත් සමඟ Gladiators පන්දු යවන්නන් හට ඉතා අසරණ තත්වයකට පත්වන්නට සිදුවිය. 

ඒ ඔහු පන්දු 19ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ඉතා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 65ක් වාර්තා කරගැනීමත් සමඟයි. ඔහු එහි දී පන්දු 14ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය කරා ළඟාවූයේ LPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාවට ද හිමිකම් කියමිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gladiators හට ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගියත් අවසානයේ එහි දී ඔවුන් ලකුණු 34කින් තරගය පරාජයට පත්වන්නට විය.

තරගාවලිය පුරාවට අඛණ්ඩව දැක්වූ කැපී පෙනෙන දක්‍ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ වනිඳු හසරංග එහි දී දැක්වූ ඉහළම දක්‍ෂතාවය සනිටුහන් වූයේ ඔවුන් අවසන් මහා තරගයේ දී ද මුණගැසුණු Gladiators කණ්ඩායමට එරෙහිව යි. 

ඔහු එහි දී පළමුව Ahsan Ali සහ දනුෂ්ක ගුණතිලකගේ තීරණාත්මක කඩුලු දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම අඩපණ කරන්නට සමත් විය. අනතුරුව Stallions තරමක් සිරවී සිටි පසුබිමක පන්දුවට පහර දීමට පිටියට පැමිණි වනිඳු තරගයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ගේ හොඳම පන්දු යවන්නා වූ Mohammed Amir හමුවේ ලකුණු 16ක් වාර්තා කරගනු ලැබීය. 

ඒත් සමඟම ඔවුන්ට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3ක පහසු ඉලක්කයක් පමණක් ඉතිරි වන්නට වූ අතර පන්දු 2ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය සපුරා ගත් ඔවුන් අවසානයේ කඩුලු 5ක ජයග්‍රහණයකට හිමිකම් කියන්නට සමත් විය.

මෙවර LPL තරගාවලිය තුළ විශිෂ්ට දස්කම් රැසක් වාර්තා වුවත් ඒ සෑම එකක්ම අපගේ හොඳම දක්‍ෂතාවයන් 10 අතරට ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැත. ඒ අනුව එවන් තවත් දක්‍ෂතාවයන් කිහිපයක් මෙසේය. 

  • Kandy Tuskersට එරෙහි ඇන්ජෙලෝ පෙරේරාගේ ලකුණු 67 (49) ඉනිම (තරග අංක 10)
  • Galle Gladiatorsට එරෙහි Samiullah Shinwariගේ ලකුණු 46* (20) ඉනිම (තරග අංක 17)
  • Kandy Tuskersට එරෙහි ඉසුරු උදානගේ ලකුණු 34 (12) ඉනිම (තරග අංක 1)
  • Kandy Tuskersට එරෙහි දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 80 (46) ඉනිම (තරග අංක 1)
  • Jaffna Stallionsට එරෙහි අසේල ගුණරත්නගේ 2/21 සහ ලකුණු 52 (37) ඉනිම (තරග අංක 16)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<