ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා ශ්‍රී ලංකාවෙන්

ICC නවතම T20 ශ්‍රේණිගත කිරීම්

398

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (03) නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පළමු තැන වනිඳු හසරංග වෙත හිමිව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය තුල කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් ද සමඟ දැනට තරග 7ක දී කඩුලු 14ක් දවාගෙන දස්කම් දැක්වීමට වනිඳු සමත් වී තිබෙනවා.

ඔහු මෙවර ලෝක කුසලානය ආරම්භ වන විට ලොව හොඳම විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දිනාගෙන සිටියේ ප්‍රසාද ලකුණු 747ක් සමඟයි. කෙසේ නමුත් වනිඳු දිගින් දිගටම සිය නියමිත පන්දුවාර ප්‍රමාණය තුල කඩුලු දවා ගනිමින් සහ ප්‍රතිවාදීන් හට අවම ලකුණු ලබා දෙමින් ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා.

එහි ප්‍රතිඵලයක් ලෙස මීට පෙර T20 හොඳම පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi අහිබවා ප්‍රසාද ලකුණු 6ක් දිනාගෙන (ප්‍රසාද ලකුණු 776) ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවට වනිඳු පත්ව තිබෙනවා.

එංගලන්තයේ Adil Rashid එහි තෙවැනි තැන දිනාගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 730ක් ලබාගෙනයි.මෙය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මෑත කාලයේ දී පැමිණි හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වෙනවා.එසේම වනිඳුගේ පුද්ගලික ක්‍රිකට් දිවියේ ලබා ගත් හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය ද මෙයයි.

වනිඳු පසුගිය තරග කිහිපය පුරාවටම පන්දු රැකීමෙන් සහ පන්දුවට පහරදීමෙන් එනම් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් වගීකරණයේ 4 වැනි ස්ථානය සහ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 186 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකිව තිබෙනවා.

එම සියලුම ශ්‍රේණිගත කිරීම් ස්ථාන ඔහුගේ වසර දෙකක කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දැනට වාර්තා වී තිබෙන හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයන් වෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<