අවසන් පූර්ව වටයේ අසුනක් පාකිස්තානයට

T20 ලෝක කුසලානය 2021

45
PAkvNAM

පාකිස්තානය සහ නැමීබියාව අතර අබුඩාබි හිදී අද (2) පැවැත්වුණු තරගයෙන් ලකුණු 45ක දැවැන්ත ජයක් හිමිකරගත් පාකිස්තානය දෙවැනි කාණ්ඩයේ සිය අපරාජිත බව තවදුරටත් රැකගන්නට සමත් වුනා.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ඔවුන් අවසන් පූර්ව වටයේ අසුනක් වෙන්කර ගැනීමට ද සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක Babar Azam පළමුව පන්දු යැවීම සඳහා නැමීබියාවට ආරාධනා කර සිටියා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

නැමීබියාව – Stephan Baard, Michael van Lingen, Craig Williams, Gerhard Erasmus (capt), David Wiese, JJ Smit, Jan Nicol Loftie-Eaton, Zane Green (wk),Jan Frylinck, Ruben Trumpelmann, Ben Shikongo

පාකිස්තානය – Babar Azam (capt), Mohammad Rizwan (wk), Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali, Shadab Khan, Imad Wasim, Hasan Ali, Haris Rauf, Shaheen Shah Afridi

තරගාවලිය පුරාවට ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ලෙස සාර්ථක වූ නායක Azam සහ කඩුලු රකින පිතිකරු Rizwan පළමු කඩුල්ල සඳහා ලකුණු 113ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා. ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වුනේ පන්දුවාර 14කුත් පන්දු 2ක් පමණයි.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 23 වැනි අර්ධ ශතකය ලබා ගත් Azam ලකුණු 70ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට Frylinck සමත් වූ අතර පන්දු 49ක දී වාර්තා වුනු එම ප්‍රවේගකාරී ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා. Zaman හට මේ තරගයේ දී ද සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ලකුණු 5කට දැවී ගියා.

පාකිස්තානු ඉනිමේ අවසන් පන්දුවාර 5 සඳහා අවතීර්ණ වන විට, ඔවුන් සතුව තවත් කඩුලු 8ක් අතැතිව තිබූ නිසාවෙන් තරමක ප්‍රහාරත්මක පිතිකරණ විලාසයකට මාරු වුනු ඔවුන් අවසන් පන්දු 26 තුල ලකුණු 67ක් නැමීබියාවෙන් උඳුරා ගැනීමට සමත් වුනා.

එහි දී 41 හැවිරිදි Hafeez වයස යනු හුදෙක් ඉලක්කමක්ම පමණක් බව සිහිපත් කරමින් පන්දු 16ක දී ලකුණු 32ක් ලබා ගත්තේ 4 පහර 5ක් සමඟ 200.00ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔවුන්ගේ සමස්ත ඉනිම පුරාවට කඩුල්ලේ රැඳී සිටි Rizwan සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු 50ක දී නොදැවී ලකුණු 79ක්*ක් ලබාගත්තා.

තරගයේ වීරයා සම්මානය ද හිමිවුණු මේ ඉනිම සඳහා 4 පහර 8ක් සහ දැවැන්ත 6 පහර 4ක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී Wiese සහ Frylinck නැමීබියාව වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

4 පහර 3ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ Wiese නැමීබියාව වෙනුවෙන් මේ තරගයේ දී වැඩිම ලකුණු (43*) ලබාගෙන, Williams (ලකුණු 40) සහ Baard (ලකුණු 29) සකස් කළ ආරම්භය සඳහා සාර්ථක අවසානයක් ලබා දීමට සැලසුම් කළත්, එය සාර්ථක වුනේ නැහැ.

කෙසේ නමුත් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ අපරාජිතව පැමිණි පාකිස්තානය මුහුණ දුන් අනෙකුත් තරග හා සසඳා බැලීමේ දී නැමීබියාව පාකිස්තානු කණ්ඩායමට ඉතාමත් හොඳ තරගයක් ලබා දුන්නා.

තරගයේ ලකුණු සාරාංශය,

පාකිස්තානය – 189/2 (20): Mohammad Rizwan 79*, Babar Azam 70, Mohammad Hafeez 32*, David Wiese 1/30, Jan Frylinck 1/31.

නැමීබියාව – 144/5 (20): David Wiese 43*, Craig Williams 40, Stephan Baard 29, Imad Wasim 1/13, Hasan Ali 1/22.

  • තරගයේ වීරයා – Mohammad Rizwan (පාකිස්තානය)

පාකිස්තානය සහභාගී වන මූලික වටයේ අවසන් තරගය මේ මස 7 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර දෙවැනි කාණ්ඩයේ අවසන් අසුනක් ලබා ගැනීමට නවසීලන්තයට වැඩි ඉඩක් තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<