Jadejaගේ ප්‍රහාරය Mohitට නින්ද පවා අහිමි කරවයි

536

පසුගිය සඳුදා (29) පැවැත්වුණු 2023 IPL අවසන් මහා තරගයෙන් පසු රාත්‍රියේ තමන්ට හරි හැටි නිදා ගැනීමට හෝ නොහැකි වූ බව Gujarat Titans වේගපන්දු යවන්නා Mohit Sharma විසින් පවසනවා.

එම තරගයේ අවසන් පන්දුවාරයේ දී Chennai Super Kings කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 6කින් ලකුණු 13ක් අවශ්‍ය වූ අතර ගුජරාටය වෙනුවෙන් පන්දු යැවීම භාර වුනේ තරගාවලියේ විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වී සිටි Mohit Sharma හටයි.

ඔහු විසින් අවසන් පන්දුවාරයේ පළමු පන්දු 4 තුළ ම පිතිකරුවාගේ දෙපා අසලට පන්දුව යොමු කරමින් ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. නමුත් ඔහු විසින් යොමු කළ අවසන් පන්දු දෙකට හයේ සහ හතරේ පහර බැගින් එල්ල කළ Ravindra Jadeja විසින් නොසිතූ ලෙස තරගයේ ජයග්‍රහණය ගුජරාටයෙන් උදුරා ගැනීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව India Express සමඟ සිදු කළ සාකච්ඡාවක දී Mohit විසින් පවසා සිටියේ තමන් ඒ මොහොතේ කළ යුතු ව තිබූ දේ දැන ගෙන සිටි නමුත් එය සිදු කිරීමට තමන් අපොහොසත් වූ බවයි.

“මම කළ යුතු දේ ගැන මගේ මනස ඉතා පැහැදිලි ව තිබුණා. මම දැල් තුල දී මෙවැනි තත්වයන් සඳහා පුහුණු වෙලා තිබුණා, ඒ වගේ ම මීට පෙර මම මෙවැනි අවස්ථා වලට මුහුණ දීලත් තිබුණා. ඒ නිසා මම කිව්වා මට සියලු ම පන්දු යෝකර් පන්දු විදිහට යොමු කරන්න ඉඩ දෙන්න කියලා. මම මගේ සහජ බුද්ධියට ඉඩ දුන්නා.

මිනිස්සු දැන් අරක මේක කියනවා, නමුත් අවංකව ම ඒවායේ කිසි තේරුමක් නැහැ. මම කරන්න ඕන දේ දැන ගෙන හිටියා.”

ඔහු පවසන ලෙස ම සිය පළමු පන්දු හතර හොඳින් ඉලක්ක ගත කරමින් අවශ්‍ය ආකාරයට ම යොමු කිරීමට ද Mohit විසින් සමත් වුනා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ අවසන් පන්දු දෙක බලාපොරොත්තු වූ තරම් හොඳින් පිටියේ පතිත කිරීමට ඔහු සමත් වුනේ නැහැ.

“මම දුවගෙන ඇවිත් නැවත යෝකර් පන්දුවක් යොමු කරන්න උත්සාහ කළා. මට අවශ්‍ය වුනේ හොඳ අවධානයෙන් මාව විශ්වාස කරමින් සිටීමටයි. මුළු IPL තරගාවලියේ ම මම ඒ දේ සිදු කළා. නමුත් පන්දුව එය පතිත නොවිය යුතු ස්ථානයක පතිත වුනා සහ Jadeja ඒ පන්දුව පිත්තට ම ලබා ගත්තා.

“මම උත්සාහ කළා, මගේ උපරිමයෙන් ම උත්සාහ කළා”

IPL තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් සිදු කළ හොඳම නැවත පැමිණීමක් සටහන් කරමින් මෙවර තරගවාරය වෙනුවෙන් Mohit ගුජරාටය සමඟ එක් වූ අතර, අසාර්ථක පන්දු දෙකක් පමණක් නිසා ඔහුගේ විශිෂ්ට දක්ෂතා කිසි සේත් ම අවලංගු වී නොයන බව නම් විශ්වාසයෙන් යුතු ව සඳහන් කළ හැකියි.

“මට නිදා ගන්න බැරි වුනා. මට මේ පන්දුව හෝ අර පන්දුව යැවිය හැකි වුනා නම් මොනවා වෙයි ද?

දැන් එය හොඳ හැඟීමක් නෙවෙයි. කොහේ හෝ යමක් අතුරුදහන් වෙලා, නමුත් මම තවමත් ඉදිරියට යාමට උත්සාහ කරනවා.

කොහේවත් නොසිටි මාව කණ්ඩායමට තෝරා ගත්තා. මට මතකයි තරගාවලිය ආරම්භ වීමට පෙර Anirudh Chaudhry (BCCI නිලධාරි) සමඟ මම මොකක් ද කරන්නේ කියලා කතාබහ කළා.

ඔහු කිව්වේ මම ක්‍රීඩා කරන්න උත්සාහ කළ යුතුයි කියලා. මම කිසිම බලාපොරොත්තුවක් නැතුවයි ආවේ. නමුත් මම වෙහෙස වෙලා වැඩ කළා. මගේ වැඩ සහ ආචාර ධර්ම පෙර ලෙස ම පවත්වා ගත්තා. ඉදිරියේ දී මොනවා සිදු වේවි ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම මගේ ගමන රස වින්දා.”

මේ වන විට 34 වැනි වියේ පසු වන Mohit Sharma විසින් එම අවාසනාවන්ත තරගයෙන් අනතුරුව එසේ ප්‍රකාශ කරනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලොව නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sport ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<