සනත් ජයසූරිය ක්‍රිකට් දිවියේ සැඳෑ සමය ගත කරන අවධියක, ශ්‍රී ලංකාවේ මීළඟ වේගවත් ආරම්භක වමත් පිතිකරුවා වනු ඇතැයි ක්‍රිකට් විශ්ලේෂකයන් අතර කතාබහට ලක් වූ මහේල උඩවත්ත, මේ වන විටත් දේශීය ක්‍රිකට් පිටියේ අණසක පතුරවන්නෙකි. එක්දින ක්‍රිකට් තරග තුළින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබූ උඩවත්ත, යම් හේතුවක් නිසාවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ නමුත් මේ වන විටත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

2001 සිට 2005 දක්වා සුලෝහිත සංග්‍රාමයේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින්, නැගී එන ක්‍රීඩකයෙකුගේ පෙරනිමිති පල කළ උඩවත්ත, තවමත් දක්ෂතා අතර පසු වන බවට හොඳම උදාහරණය වන්නේ 2016 වසරේ දී ඔහු වාර්තා කළ මුළු ලකුණු 895ක සංඛ්‍යාවයි. 2017 තරග වාරය තුළ මේ වන විට ලකුණු 700ක් වාර්තා කර ඇති ඔහු, 2008/09 තරග වාරයේ පකිස්තානයට එරෙහිව කැනඩාවේ දී පැවති විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලාංකික අප හට අමතක නොවන අත්දැකීමක් එක් කළේය. එය නම්,

සනත් ජයසූරිය අනෙක් පිතිකරණ අන්තයේ සිටිය දී පන්දුවට පහර දෙමින් සිටි උඩවත්තට, උමාර් ගුල් වේගවත් යෝකර් පන්දුවක් යොමු කළේය. ඉන් නොනැවතුණු ගුල්, උඩවත්ත වෙතට ගොස් පාරම් බෑමක් ද සිදු කළේ “උඹ කවුද?” යැයි විමසමිනි. ඊට සිනහවකින් පිළිතුරු දුන් උඩවත්ත, ගුල්ගේ පන්දු වාරය නිමා කළේ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමින් උමාර් ගුල් නිරුත්තර කරමිනි. උඩවත්ත එහි දී එල්ල කළ හයේ පහරින් අනතුරුව ගුල් වෙත ගොස් තම නිල ජර්සියේ සඳහන් නම පෙන්වූ ආකාරය, අයෝමය මනසක් ඇති පිතිකරුවෙකුගේ ලක්ෂණ ලොවට විදහා දැක්වූවේය.

වේගවත් පිතිකරුවෙකු ලෙස ප්‍රකට මහේල උඩවත්ත, 88 වැනි සුලෝහිත සංග්‍රාමයට දිනක් පමණක් ඉතිරිව තිබිය දී ThePapare.com සමඟින් විශේෂ කතාබහකට එක් වූයේ දැනට ඔහු නායකත්වය දරන හලාවත මේරියන්ස් කණ්ඩායමේ පුහුණුවීම් සැසියක් අතරතුර දීයි.

Mahela-Udawatte-1“සුලෝහිත සංග්‍රාමය” ගැන ඔබේ වචනවලින් කිව්වොත්,

“ආනන්ද සහ නාලන්ද කියන පාසල් දෙකේම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයක් තමයි සුලෝහිත සංග්‍රාමයේ ක්‍රීඩා කරන එක. ඒ දිහා මුළු රටේම ක්‍රිකට්ලෝලීන් බලන් ඉන්නවා, මොකද මේ පාසල් දෙක ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහි කරපු පාසල් දෙකක්. ඉතින් සුලෝහිත සංග්‍රාමය ක්‍රීඩා කරලා එතනින් උඩට එන්න තමයි ක්‍රීඩකයන් බලන්නේ.”

කුඩා කල නරඹන්නෙකු හැටියට සුලෝහිත සංග්‍රාමයට සහභාගී වුන හැටි ගැන ඔබට මතක ද?

“මම කොහොමත් 13න් පහල ඉඳන්ම ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියේ. ඉතින් අපිට වඩා වැඩිමල් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය දැක ගන්න ආසාවෙන් තමයි අපි හිටියේ. ඒ නිසාම අපි ගොඩක් වෙලාවට Big Match වලට ගිහින් නැරඹුවා. ඒ වෙලාවල් වල දී හිතුනා මටත් කවදාහරි Big Match එකක් සෙල්ලම් කරන්න තියෙනවා නම් හොඳයි කියලා.”

ක්‍රීඩකයෙක් හැටියට ඔබට සුලෝහිත සංග්‍රාමයේ තිබෙන මතකය මොන වගේ ද?

“2001 දී තමයි මට මුලින්ම ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. වසර 23කට පස්සේ මගේ කණ්ඩායම (ආනන්ද විද්‍යාලය) දමිඳු කුලරත්නගේ නායකත්වයෙන් සුලෝහිත සංග්‍රාමයක් ජයග්‍රහණය කළා 2003 දී. ඉන් පස්සේ අවුරුද්දේ සුලෝහිත සංග්‍රාමයේ දී මම ශතකයක් වාර්තා කළා. ඒ මතකයන් දෙක තමයි ඉහලින්ම තියෙන්නේ.”

[rev_slider dfcc728]

සුලෝහිත සංග්‍රාමයේ දී සහ පාසල් පිටියේ දී සිදුවුණු අමතක නොවන සිදුවීම්?

“සුලෝහිත සංග්‍රාමය කියන්නෙම ඉතින් අමතක නොවන අත්දැකීමක් තමයි. මොකද, ඒ කාලෙට අපිට ආයෙත් යන්න බෑ. යාළුවෝ එක්ක විනෝද වුන හැටි, කොළඹින් පිට තරගවලට ගිහින් විනෝද වුන හැටි, ජයග්‍රහණය කරපු දේවල් වගේ මතකයන් ගොඩක් තියෙනවා. එකක් කියලා කියන්න බැහැ. සුලෝහිත සංග්‍රාමයේ දී නම් ජය ගත්ත හැටි තමයි මතක තියෙන්නේ.”

“විශේෂ දෙයක් තමයි මං පාසලේ ක්‍රීඩා කළ හැම අවුරුද්දකම, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරපු කණ්ඩායම් තමයි මට හමුවුනේ. ඒ නිසාම අපි 2003 වර්ෂයේ දී සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළා.”  

2005 වර්ෂයෙන් පස්සේ ජාතික කණ්ඩායම දක්වා ආපු ගමන ගැන මතක් කළොත්?

“2005 වර්ෂයේ දී මං තමයි පාසල් ක්‍රීඩකයෙකු හැටියට මුලින්ම ලකුණු 1000 සීමාව පසු කළේ. නමුත් මට ශ්‍රී ලංකා 19න් පහල සංචිතයට අවස්ථාවක් ලැබුණේ නැහැ. පස්සේ අන්තර් සමාජ තරග ක්‍රීඩා කරලා 23න් පහල ක්‍රීඩා කරද්දී මං ශතක තුනක් වාර්තා කළහම තමයි මට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ දොර ඇරුණේ. එහි දී දක්වපු දක්ෂතා එක්ක තමයි මට ජාතික කණ්ඩායමේ ඉඩක් හිමිවුණේ.”

අද ඔබ ක්‍රිකට් සමාජයක නායකයෙක්. ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්. පාසල් ක්‍රිකට් වලින් ඔබේ ක්‍රිකට් දිවියට ලැබුණු පාඩම් මොනවද?

“ක්‍රිකට් ක්‍රීඩාවේ දී හැම විටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. තරග ක්‍රීඩා කරගෙන යද්දී අත්දැකීම් ලැබිලා, අපි කරන වැරදි අඩුපාඩු පෙනිලා ඒවා හදා ගන්න අවස්ථාව ලැබෙනවා. පොඩි ළමයෙක් වුනත් ක්‍රීඩා කරන විදිය බලලා මට ඒකෙන් යමක් ගන්න තියෙනවා නම් මං ඒක ඉගෙන ගන්නවා.”

Mahela-Udawatte-4ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට, කනිෂ්ඨ ක්‍රීඩකයන් මහා ක්‍රිකට් තරගවලින් ඉගෙන ගත යුත්තේ කුමක් කියල ද ඔබ හිතන්නේ?

“තමන්ගේ පෞද්ගලික දස්කම් ගැන හිතනවට වඩා කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරන කොට තමන්ගේ දක්ෂතාත් වර්ධනය වෙනවා. අනෙක් ක්‍රීඩකයන් ගැන හිතලා ක්‍රීඩා කරන කොට තමන්ටත් ඒ දේ ලැබෙනවා. ඒ වගේ දේවල් වගේම උපක්‍රම ගැන, ඉදිරි සැලසුම් ගැන හොඳ දැනුමක් ලබන එක ඉස්සරහට වටිනවා.”

හොඳ ක්‍රීඩකයෙකු නිපදවීමට නම් මහා තරගවලට මොන වගේ වෙනස්කම් එකතු වෙන්න අවශ්‍ය ද?

“දවස් දෙකක් නැතුව තුනක්ම තරගය ක්‍රීඩා කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට පිතිකරුවෝ දිගු ඉනිම් ක්‍රීඩා කරන්න පෙලඹෙනවා. පන්දු යවන්නන්ට මහන්සි වෙලා ඒ කඩුලු දවා ගන්න වෙනවා. එතකොට ක්‍රීඩාව තමයි දියුණු වෙන්නේ. එක්දින තරග ක්‍රීඩා කළාට කමක් නෑ. මොකද ඒකත් අත්දැකීමක් වෙනවා ඉස්සරහට.”

ජ්‍යේෂ්ඨයකු හැටියට මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට එකතු වෙන ආනන්ද – නාලන්ද කණ්ඩායම් දෙකට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද?

“මුලින්ම සුබ පතනවා කණ්ඩායම් දෙකටම. මං කියන්නේ කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරන්න. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගෙන, සහෝදරත්වය තියාගෙන ක්‍රීඩා කරන්න. එහි දී දිනන කණ්ඩායම දිනයි.”

Mahela-Udawatte-2අවසන් වශයෙන් ජාතික කණ්ඩායමට නැවතත් එක්වීමට ඇති බලාපොරොත්තුව ගැන ද අපි ඔහුගෙන් විමසුවෙමු.

“ඕනෑම ක්‍රීඩකයෙක් දේශීය මට්ටමේ ක්‍රීඩා කරන්නේ ජාතික කණ්ඩායමට එක්වෙන බලාපොරොත්තුවෙන් තමයි. ඉතින් මටත් බලාපොරොත්තුවක් තියෙනවා.”

ඔහුගේ දක්ෂතා වියැකෙන්නට පෙර ඔහුට ජාතික කණ්ඩායමට අවස්ථාවක් ලැබේවා යැයි පතමින් ThePapare.com අපි ඔහුට සමු දුන්නෙමු.

හෙටින් (04) ඇරඹෙන සුලෝහිත සංග්‍රාමයේ සියලු තතු ThePapare.com හා එක්ව විඳ ගන්න යැයි ආරාධනය කරමින්, සටහන මෙසේ අවසන් කරන්නෙමු.   

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<