VAR ෂුවර් නැද්ද?

128

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හඳුන්වා දුන් වීඩියෝ සහායක විනිසුරු, නැතහොත් Video Assistant Referee (VAR) තාක්ෂණය ගැන එංගලන්ත ප්‍රීමියර් ලීගයේ සෑම සති අන්තයක දී ම විවේචන අසන්නට ලැබීම සැලකිල්ලට බඳුන් කළ යුතු කරුණක්

බ්‍රයිටන් කණ්ඩායමට පමණක් මෙතෙක් සමාව ඉල්ලා සිටීම් තුනක් ලැබී තිබෙනවා. ඒ විනිසුරුවන්ගේ වැරදි තීරණවලට අදාළව Professional Game Match Officials Limited (වෘත්තීය තරග නිලධාරීන්ගේ සමාගම – PGMOL) නම් වූ විනිසුරු සංගමය විසිනුයි. ආසන්නතම සිදුවීම වන්නේ ටොට්න්හම් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී බ්‍රයිටන් කණ්ඩායමට අහිමි වූ දඬුවම් පහර නිසා ඔවුන් ගෝල 2-1ක පරාජයක් ලැබීමයි.

Football Espana

එමෙන්ම ආසනල් කණ්ඩායමට එරෙහි තරගයේ දී Lee Mason (ලී මේසන්) නම් විනිසුරුවරයා හට නිසි පරිදි තහනම් කලාප රේඛාවන් (Off-side lines) ඇඳීමට නොහැකි වීම සහ බ්‍රෙන්ට්ෆර්ඩ් කණ්ඩායම විසින් වාර්තා කළ නීති විරෝධී ගෝලය ආපසු හැරවීමට නොහැකි වීම නිසා ඔහුට PGMOL හැර යාමට සිදු වුනා.

VAR තාක්ෂණය බරපතළ ලෙස “දෝෂ සහගත” බව සහ “අකාර්යක්ෂම” බව පාපන්දු විචාරකයන් වන Gary Lineker (ගැරී ලිනේකර්) සහ Danny Murphy (ඩැනී මර්ෆි) විසින් පිළිවෙළින් ප්‍රකාශ කරන්නට යෙදුණා.

බ්‍රයිටන් නායක Lewis Dunk (ලුවිස් ඩන්ක්) විමසන්නේ එනම් “VARහි තේරුම කුමක්ද?” කියායි. විනිසුරු තීරණ නිරවද්‍ය කරගැනීමට සැකසූ යාන්ත්‍රණයකින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීමේ ගැටලුව කෙමෙන් හිස ඔසවමින් තිබෙනවා.

PGMOL විසින් පිළිගන්නා පරිදි, සෑම දෙයක්ම පරිපූර්ණ නොවේ. එහෙත් ඔවුන්ගේ ප්‍රධානී Howard Webb (හොවාර්ඩ් වෙබ්) හට තම සමාගමේ විනිසුරුවරුන් විසින් කළ වැරදි නිසා අවස්ථා කිහිපයක දී ම ක්‍රීඩා සමාජවලින් සමාව ඉල්ලා සිටීමට සිදු වුනා. කෙසේ වෙතත් ඇතැම් සිදුවීම් එතරම් කලබල විය යුතු සිදුවීම් නොවන බවත්, VAR විරෝධී නිලධාරීන් විසින් උලුප්පා පෙන්වන සිද්ධීන් බවටත් PGMOL තුළ මතයක් පවතිනවා.

අලුත්ම වාර්තා අනුව,

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැත්වුණු තරග 150ක දී VAR දෝෂ 12ක් හඳුනා ගෙන ඇත. ඒවායින් හතරක් වැරදි ලෙස VAR භාවිතා කිරීම් වේ. අනෙක් 7, විනිසුරුවරුන් විසින් VAR පරික්ෂා කිරීමෙන් පසුව වෙනස් කළ යුතු වූ තීරණ වෙනස් නොකිරීම් වනවා.

ලෝක කුසලාන තරගාවලියට පෙර තරග 24.3ක දී වැරදි VAR භාවිතයන් එකක් වාර්තා වූ අතර ඉන්පසුව තරග 37.5ක දී වාර්තා වී ඇත්තේ එක් වැරදි භාවිතයක් පමණයි.

තීරණ වෙනස් නොකිරීම සම්බන්ධ වැරදි ගතහොත්, සෑම තරග 12.2ක දී ම සිදු වූ වැරදි ගණන එකක් වූ අතර මේ වන විට එය සෑම තරග 21.4ක දී ම එකක් ලෙස පහත බැස තිබෙනවා.

විචාරක Ian Wright (ඉයන් රයිට්) පවසන පරිදි “ගෝලයක ඇති පිරිසිදු වින්දනය” VAR නිසා පහළ බැස තිබෙනවා. බ්‍රයිටන් කණ්ඩායමට සිදු වූ අසාධාරණකම් සලකා ඩැනී මර්ෆි පවසන්නේ “එය නුසුදුසු බව”යි.

Stephen Warnock (ස්ටීවන් වෝනොක්) පවසන්නේ ඉන් මිදීමට හැකි නම් එය හොඳ බවයි.

වැරදි පිළිගන්නවා සේම විනිසුරුවරුන් වෙත පැමිණෙන වෛරී ප්‍රතිරෝධය පාලනය කිරීමේ වැදගත්කම PGMOL විසින් තේරුම් ගෙන තිබෙනවා. විනිසුරුවන් ඉහළ විනිසුරුකරණයක් පෙන්වන අවස්ථාවල දී ඔවුන්ට නිසි ප්‍රශංසා ලැබෙනවාට වඩා පහළ විනිසුරුකරණයක් පෙන්වන විට ලැබෙන දෝෂාරෝපණ ප්‍රමාණය වැඩි යි.

ප්‍රීමියර් ලීගයේ අවසන් සති කිහිපය ගත වන නිසා මේ වන විට විනිසුරුවන් හමුවේ ඇති පීඩනය ඉහළයි. තරගාවලියෙන් පසු VAR සම්බන්ධ විශේෂඥ කමිටුවක් විසින් මේ පිළිබඳ සොයාබැලීමට නියමිතයි.

ක්‍රීඩා සමාජයක් විසින් විනිසුරු තීරණයක් සම්බන්ධව PGMOL වලින් විමසීමක් කරන ඕනෑම අවස්ථාවක ඊට පිළිතුරු සැපයීමට PGMOL සූදානමින් සිටිනවා.

පසුගිය අප්‍රේල් 8 වැනිදා PGMOL ප්‍රධානී වෙබ් විසින් බ්‍රයිටන් ක්‍රීඩා සමාජය අමතා සමාව ඉල්ලා සිටි බැවින් තමන්ට ද එවැනිම ඇමතුමක් එනු ඇතැයි තමන් බලා සිටින බව නොටිංහම් ෆොරස්ට් කළමනාකරු Steve Cooper (ස්ටීව් කූපර්) පැවසුවා. ඒ ඔහුගේ කණ්ඩායම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු අවස්ථාවේ ඔවුන්ට ලැබිය යුතුව තිබූ නිදහස් පහරක් නොලැබීම නිසයි.

කෙසේ වෙතත් වැරදි සිදු වන වාරයක් පාසා ක්‍රීඩා සමාජ කළමනාකරුවන් ඇමතීම විනිසුරු සමාගමට කළ නොහැක්කක්. එබැවින් තාක්ෂණය පාපන්දු ක්‍රීඩාවට යොදාගන්නේ නම් එය ඉතා නිරවද්‍ය ලෙස යොදාගැනීමේ යාන්ත්‍රණයක් ද සැකසීම පාපන්දු බලධාරීන්ගේ වගකීමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<