ගෙවුණු දවස මැයි 05 – ක්‍රිකට්, රග්බි සහ මලල ක්‍රීඩා දිනය ප්‍රාණවත් කරයි

472

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

කොළඹට සහ ගාල්ලට ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (05) නිමා වූ අතර එහි දී පිට පිටම ලත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නුවර කණ්ඩායම ලකුණු 58කින් පරාජය කරමිනි.

මේ අතර පැවති අනෙක් තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ දඹුල්ල ක්‍රීඩකයෝ ය.

දවසේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සමත් විය. ඔහු පිතිකරණයේ දී ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 2ක් දවා ගත්තේ ය. මීට අමතරව දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්විය.

සම්පූර්ණ වාර්තාව: ෂෙහාන්ගෙන් ශතකයක් සහ කඩුලු දෙකක්


    රග්බි    

බ්‍රැඩ්බි පලිහ රාජකීයයන්ට

දෙවන අදියරේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 27-19ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය, 74 වැනි වරටත් පැවති බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ (5) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී සමත් විය.   

පාසල් රග්බි තරගාවලියේ දී බොහෝ කණ්ඩයම්වලට සිදු වූ පරිදිම රාජකීය විද්‍යාලයේ දී පැවති පළමු තරග අදියරේ දී ලකුණු 39-07ක වේදනාකාරී පරාජයක් අත්විඳින්නට ත්‍රිත්ව විදුහලට සිදු වූ අතර බලාපොරොත්තු වූ ආකාරයට මේ තරගයේ සිය සුපුරුදු දක්ෂතාවලට පිවිසීමට නොහැකි වුවත් මෙම තරගයේ අවසානයත් සමඟ මුළු ලකුණු 66-26ක් ලෙස ප්‍රබල රාජකීය කණ්ඩයමට බ්‍රැඩ්බි පලිහ හිමි විය.   

සම්පූර්ණ වාර්තාව: මහනුවර කලඹමින් රාජකීය කුණාටුව බ්‍රැඩ්බි පලිහ ඩැහැ ගනී


තර්ස්ටන් අසරණ කරමින් ජබ්බාර් පලිහ ඉසිපතනයට

කොළඹ ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවති අබ්දුල් ජබ්බාර් වාර්ෂික මහා රග්බි තරගය ලකුණු 50-07ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ (5) සමත් විය. තරගය කොළඹ හැව්ලොක් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මෙතෙක් පැවති තරග 46න් තරග 44ක් ජය ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වී ඇති අතර තර්ස්ටන් විදුහල ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

සම්පූර්ණ වාර්තාව: ඉසිපතනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින්ට අමතක නොවන සංග්‍රහයක්


  මලල ක්‍රීඩා  

ශ්‍රී ලංකාව ප්‍රථම දිනය අවසානයේ දෙවැනි තැනට

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රථම දිනය අවසානයේ දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ රන් පදක්කම් 5ක අයිතිය ලක්මාතාවට දිනා දෙමිනි. සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වාර්තා 4කට හිමිකම් කියන්නට සමත් විය. තරගාවලියේ දෙවැනි දිනය අදයි (06).

සම්පූර්ණ වාර්තාව: බාලකයන්ට මග හැරුණු කීර්තිය බාලිකාවෝ රැක දෙති

>>දෙවැනි දිනය සජීව ලෙස නරඹන්න පිවිසෙන්න<<

Live Text Commentary – දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2018 – Live Updates Day 2

දිනයක නිමාව