IPL ක්‍රීඩකයින්ගේ වැටුප් ගෙවන්නේ මෙහෙමයි!

422

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙනවා. සෑම වසරකම පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ගේ වැටුප් ඉතා ඉහල මට්ටමක පවතිනවා. 

මෙවර තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දා පැවැත්වුනා. එහි දී ක්‍රීඩකයන් 57 දෙනෙකු අලෙවි වූ අතර ඉන් කීප දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි ගණනකට අලෙවි වීම විශේෂත්වයක්. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ ගෙවීම් ව්‍යුහය කෙබඳු ද? මේ පිළිබඳව ඉන්දීය පුවත්පතක් වන Times of India පුවත්පත පසුගිය දා වාර්තා කර තිබුණා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා අවසන් නම් ලැයිස්තුව ප්‍රකාශ කිරීමට පෙර කණ්ඩායම්වලට ක්‍රීඩකයන් නිදහස් කිරීමට යම් කාලයක් ලබා දෙනවා. 

එම කාලය තුල පෙර ගිවිසුම්වලින් නිදහස් කරන ක්‍රීඩකයන් සහ සෙසු ක්‍රීඩකයන් මූලික තෝරාගැනීමේ වටයකින් අනතුරුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබනවා. එහි දී ක්‍රීඩකයන් සඳහා වන මූලික වටිනාකමක් ද නම් කරනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් එක් එක් ක්‍රීඩකයන් සඳහා ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරන අතර අවම අගය ක්‍රීඩකයන්ගේ පෙර සඳහන් වූ මූලික වටිනාකමයි. මෙහි දී වැඩිම ලංසුව ඉදිරිපත් කරන කණ්ඩායමට එම ක්‍රීඩකයා හිමිවනවා. 

එම ක්‍රීඩකයාට අදාළ ලංසුව ඔහුගේ වැටුප වන අතර එය එක් තරග වාරයක් සඳහා වලංගු වනවා. උදාහරණයක් ලෙස යම් ක්‍රීඩකයකු ඉන්දීය රුපියල් කෝටි 10කට අලෙවි වූයේ නම් එක් තරගාවලියක් සඳහා ඔහුගේ වැටුප ඉන්දීය රුපියල් කෝටි 10ක් වනවා.

කෙසේ වෙතත් කණ්ඩායම්වලට එක් තරග වාරයකට වඩා වැඩි කාලයක් සඳහා ක්‍රීඩකයන් රඳවා ගැනීමේ අවස්ථාව ද හිමිවනවා. එය වසර 3ක ගිවිසුමක් නම් ඔහුට වසරකට කෝටි 10 බැගින් කෝටි 30ක මුදලක් ගෙවිය යුතු වනවා. මෙම ගිවිසුම් කාලය ක්‍රීඩකයා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන කාලය මත රඳා පවතිනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

තවද යම් විදෙස් ක්‍රීඩකයෙකු කණ්ඩායමකට එක්වූ විට ඔහුගේ ලංසු මුදලින් 20%ක ප්‍රමාණයක් ඔහුගේ රටේ ක්‍රිකට් ආයතනයට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ගෙවනු ලබනවා. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ඉන්දීය රුපියල් කෝටි 10කට අලෙවි වූයේ නම්, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට කෝටි 2ක මුදලක් ගෙවනු ලබනවා. 

එම මුදල් ලබාගන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආදායම් ගිණුමෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගාවලිය පැවති 2008 වසරේ දී ක්‍රීඩක වෙන්දේසිය සිදු වූයේ ඇමරිකානු ඩොලර් ඒකකයෙනි. ඒ වන විට ඩොලරයේ අගය ඉන්දීය රුපියල් 40ක් වුනා. කෙසේ වෙතත් 2012 වසරේ දී ක්‍රීඩක වෙන්දේසිය ඉන්දීය රුපියල් වෙත මාරු වුනා. 

යම් අවස්ථාවක දී ක්‍රීඩකයෙකු වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා කණ්ඩායමක් හා සම්බන්ධ වීමෙන් අනතුරුව තවත් වසරක් සඳහා ඔහු රඳවා ගැනීමට කණ්ඩායම බලාපොරොත්තු වන්නේ නම් ක්‍රීඩකයා සමඟින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමේ අවස්ථාව පවතිනවා. එහි දී ඔහුගේ වැටුප වන්නේ පෙර වෙන්දේසියේ දී ඔහුට හිමි වූ වැටුපයි. කෙසේ වෙතත් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමේ දී ක්‍රීඩකයාට වැටුප් වැඩි වීමක් ඉල්ලීමට අවස්ථාව හිමිවනවා.

ක්‍රීඩකයන්ගේ වැටුප් ගෙවීම සිදු කරන ආකාරය එක් එක් කණ්ඩායම් අනුව වෙනස්වනවා. එය කණ්ඩායමේ මුදල් සංචිත ප්‍රමාණය හා සත්කාරකත්වය දරන ආයතනවල ගෙවීම් වැනි සාධක මත රඳා පවතිනවා. 

එහි දී සමහර කණ්ඩායම් අදාළ ගෙවීම් තරගාවලියට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරනවා. තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණුවීම්වල දී එක් එක් ක්‍රීඩකයන්ට අදාළ ගෙවීම් චෙක්පත් ලබා දීමට විශාල මුදල් සංචිත සහිත කණ්ඩායම් කටයුතු කරනවා.

මේ අතර සමහර කණ්ඩායම් කොටස් දෙකක් ලෙස ගෙවීම් සිදු කරනවා. ක්‍රීඩකයන්ට අදාළ මුදලින් 50%ක් තරගාවලියට පෙර ද සෙසු 50% තරගාවලිය අතරතුර ද ගෙවනු ලබනවා.

තවත් කණ්ඩායම් ගෙවීම් සඳහා 15-65-20 ක්‍රමවේදය අනුගමනය කරනවා. එනම් තරගාවලියට පෙර වැටුපෙන් 15%ක්, තරගාවලිය අතරතුර 65%ක් සහ තරගාවලිය අවසන් වී යම් කාලයක් තුල සෙසු 20%ක ප්‍රමාණය ගෙවනු ලබනවා. මෙම ගෙවීම් සිදුවන ආකාරය ක්‍රීඩක ගිවිසුමේ සඳහන් කළ යුතු වනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩක Chris Morris Rajasthan Royals කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා. ඒ ඉන්දීය රුපියල් කෝටි 16.25කටයි. එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 44කටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<