අරවින්ද ද සිල්වා ක්‍රිකට් කමිටුවේ ඉදිරි සැලසුම් අනාවරණය කරයි

1193

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පසුගිය දිනෙක News First හි වැඩසටහනක් සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සවිමත් කිරීම වෙනුවෙන් තමා ඇතුළු කමිටුව ගැනීමට සූදානමින් සිටින තීරණ කිහිපයක් ගැන මෙසේ රටට අනාවරණය කළා.

මෙම තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ඔබ නැවත ක්‍රිකට් සේවය සඳහා යොමු වූයේ කුමක් සඳහා ද?

මම හැම විටම අභියෝගවලට මුහුණ දෙන්න ආසයි. මා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ කමිටු ගණනාවක් සමඟ කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදුවී ඇති අභියෝග දිහා බැලුවහම මම කමිටුවට බැඳී මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපකාර කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමට තීරණය කරන්න පුළුවන් නම් ඒක වටිනවා. 

ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ දී මෙම උපකාරය සැබවින්ම අවශ්‍ය බව මම සිතනවා. බිම් මට්ටමේ ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා දිගුකාලීන සැලැස්මක් සකස් කළ යුතු යැයි මම සිතනවා. මම එය ගැන මේ තාක්ෂණික කමිටුවේ දී කතා බහට ලක් කරනවා.

එම තාක්ෂණික කමිටුව තුල ඒ ඒ සාමාජිකයින්ට තිබෙන වගකීම් මොනවද?

ක්‍රිකට් ක්‍රීඩාවේ ගැන සොයා බැලීම සඳහා අප සියලු දෙනාටම නිදහස තිබෙනවා. කණ්ඩායමක් වශයෙන්, අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය හැම දෙයක් ගැනම හොයලා බලලා වැරදි තැන් තියෙනවා නම් ඒවා හදන්න කටයුතු කරනවා. 

මුලින්ම බිම් මට්ටමේ ක්‍රිකට්වලට ප්‍රමුඛතාවය ලබා දෙන අතර පසුව ජාතික මට්ටම දක්වාම ගමන් කරන්න තමයි අපේ සැලසුම. ඒ සඳහා අදාළ ව්‍යුහය ගොඩක් කාලයක් තිස්සේ ඉඳන් හදල තියෙනවා, නමුත් ඒ ව්‍යුහයට අවශ්‍ය විදිහට අපි වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ වෙනස්කම් අවශ්‍ය විදිහට ඉතාමත් ඉක්මනින් කරන්න අප බලනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් කිරීමට ඔබේ කමිටුවට හැකියාව තිබෙනවා ද?

මෙම අංශ දෙකටම අපි යම් යම් යෝජනා ඉදිරිපත් කරනවා. පළාත් 5කින් සමන්විත පළාත් තරගාවලියක් ක්‍රියාත්මක කිරීමට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එය මා 2003 දී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉදිරිපත් කළ යෝජනාවක් වන අතර එතැන් සිට එය ක්‍රියාත්මක කිරීමට මම උත්සාහ කළා. 

අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට අවශ්‍ය යැයි කියමින් බොහෝ දෙනෙක් මෙම සංකල්පය විශ්වාස කළේ නැහැ. ඒක නිසා වසර ගණනාවක් තිස්සේ තවමත් ක්‍රියාත්මක වන්නේ ඒ පරණ ක්‍රමයමයි. 

මම හිතන්නේ අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලැබෙන හොඳ පදනම නිසා. ඉතින්, අපට කිසිවිටෙකත් අන්තර් සමාජ ක්‍රිකට් පද්ධතියෙන් ඉවත් වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අන්තර් සමාජ ක්‍රිකට් එක සමහරක් පළාත්වලට එකතු කිරීමේ වැදගත්කම සහ ඉහළ මට්ටමේ ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට ඉඩ දීමේ වැදගත්කම ගොඩ දෙනෙක් හරියට තේරුම් අරගෙන නැහැ. 

උදාහරණයක් ලෙස, ඔබ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ව්‍යුහය බලන්න, ඉහළින් ජාතික කණ්ඩායමත් ඊට යටින් ඔවුන්ගේ ප්‍රාන්ත ගණනාවක් ක්‍රිකට් සමාජ එක්ක සම්බන්ධ වී ඇති බව පෙනෙයි. ඉතින් එතකොට ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගන්න ගොඩක් ලේසියි, ඒ වගේම දක්ෂ ක්‍රීඩකයින් ගොඩක් අඳුරගන්න පුළුවන්. 

ඒ හා සමානව අපට එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ සංකල්පය දැන් බොහෝ දෙනාගේ මතකයෙන් ගිහිල්ලා තියෙන්නේ, නුදුරු අනාගතයේ දී එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.

තවත් ක්‍රිකට් පුවත්:

යෝජිත පළාත් තරගාවලි ව්‍යුහය කෙටියෙන් පැහැදිලි කළ හැකි ද?

මේකේ අදහස වුනේ මෙම අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් 24 පළාත් 5කට වෙන් කරන එකයි. උදාහරණයක් ලෙස, එක් පළාතක් සඳහා අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් 4ක් තෝරාගෙන ඇතැයි උපකල්පනය කළොත්, එක් පළාතක් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු වන්නේ එම ක්‍රීඩා සමාජ 4 නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරීත්වය සහ දස්කම් මතයි.

එහෙම බෙදුවායින් පස්සේ එම අදාල පළාත විසින් ඔවුන්ට ආදාළ ක්‍රිකට් සමාජ හතර රක බලාගන්න ඕනේ. මීට අමතරව, දිස්ත්‍රික්ක 22ක පළාත්වලට බෙදලා වුනත් මේ දේ කරන්න පුළුවන්. එහෙම කරහම අපට මේ ක්‍රිකට් එක හැමතැනම හොඳට බෙදා හරින්න පුළුවන්.

පළාත් තරගාවලියේ පළමු පන්තියේ තරග දැනට ගහන්නේ දින 3යි එක අනිවාර්යයෙන් දින 4 කරන්න ඕනේ, ඊට අමතරව එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ගහන්න ඕනේ. ඒ වගේම මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් රැකබලා ගනිමින් ඔවුන් මූල්‍යමය වශයෙන් ස්ථාවර වන අයුරින් අපගේ පළමු පන්තියේ ව්‍යුහය ගොඩනැගීමට ද අපි බලාපොරොත්තු වෙනවා. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් සහ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොඩක් ක්‍රීඩකයින් අපේ රට දාලා යන්නේ අපේ පළමු පෙළ ක්‍රීඩකයින් සඳහා සිදු කරන ගෙවීම් ප්‍රමාණවත් නැති නිසයි. ඒ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් එහේ ගිහිල්ලා එක් තරග වාරයකින් රුපියල් මිලියන දෙකක් වගේ හොයා ගන්නවා. එය ඩොලර් 10,000ට සමාන වන අතර අපේ ක්‍රිකට් මණ්ඩලයට ක්‍රීඩකයින් 120 දෙනෙකු සඳහා එම මුදල වෙන් කරන්න බැරි කමක් නැහැ කියලා මම හිතනවා. 

ඒ වගේම අපේ රටේ ඉන්න හොඳම ක්‍රීඩකයින් 200 තෝරාගෙන ඩොලර් 15,000ක් ගානේ ගෙවුවත් එක් ක්‍රීඩකයෙක්ට ක්‍රිකට් ආයතනය ගෙවන්න ඕනේ මිලියන තුනයි. අයවැය දානකොට මේකට මිලියන 600ක් වගේ දැම්මොත් අපිට ඒ රට යන ක්‍රීඩකයින් නවත්ත ගන්න පුළුවන්.

පාසල් ක්‍රිකට් සඳහා ඔබගේ සැලසුම් මොනවාද?

ඔබ අපේ පාසල් ක්‍රිකට් දිහා බැලුවහොත්, වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩකයින් 28,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. නමුත් ඔබ 19න් පහළ මට්ටම දිහා බැලුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන්නේ ක්‍රීඩකයින් 9,000ක් විතරයි. 

එබැවින්, වයස අවුරුදු 19 වන විට පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ යම් යම් තීරණ ගත යුතු අතර ඔවුන් වෙනත් ක්ෂේත්‍රයක වෘත්තියක් ගොඩනගා ගත යුතු යැයි ඔවුන්ට හැඟෙනවා. ඒක නිසා ඔවුන් ක්‍රිකට්වලින් හැලෙනවා, ඒක තමයි මේකට ලොකුම හේතුව. 

ඒ නිසා අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ, ඔබ තරුණ වියේ දී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හඳුනා ගත් විට, ක්‍රීඩකයාට ඉහළම මට්ටමට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ සලසමින් ඔහුට සහාය දැක්වීමට සහ ආරක්ෂා කිරීමට අපට හැකි වෙන්න ඕනේ. 

ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර අධ්‍යාපනය දිගටම කරගෙන යාමට ඔවුන්ට උදව් කළ යුතුයි. එය සිදු කිරීම සඳහා, අප ක්‍රීඩකයින්ට සහාය වෙන්න ඕනේ. ක්‍රීඩකයන්ට අධ්‍යාපනය හා ක්‍රිකට් ක්‍රීඩාව එකම තැනක කරන්න පුළුවන් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් මා යෝජනා කරන්නේ මෙන්න මේ හේතුව නිසයි, එතකොට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<