කන්ද උඩරට අන්දමන්ද කළ මහනුවර – බහරේන පළමු තරග

468

බටහිර ආසියානු ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ ප්‍රථම තරගය අද (31) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-20ක් වශයෙන් තරගය ජයග්‍රහණය කිරීමට බහරේන් ක්‍රීඩා සමාජය සමත් විය.

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ලකුණු 36-00ක් ලෙස ඉතා පහසුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි….

පැහැදිලි ආලෝක තත්වයක් යටතේ තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම බහරේන් ක්‍රීඩා සමාජය ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. බහරේන් ක්‍රීඩක ලින්ඩ්සේ ගිබ්සන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (05-00)

ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම පිටියේ අනිසි හැසිරීම් කිහිපයක්ම පෙනෙන්නට තිබුණු අතර බහරේන් මුල් පෙළේ බලපෑමකින් ලද දඬුවම් පහර සාර්ථක කරගන්නට තිලිණ විජේසිංහ සමත් විය.(05-03)

බහරේන් ඉදිරි ආරක්ෂක වළල්ල, මහනුවර ක්‍රීඩා සමාජය වෙත දැඩි පීඩනයක් එල්ල කරන බව  පෙනෙන්නට තිබුණු අතර ඒ නිසාම එය ව්‍යර්ථ කරනු වස් ක්‍රියාත්මක කළ ආවරණය කිරීමක් නිසා නැවතත් බහරේන් කණ්ඩායම වෙත දඬුවම් අවස්ථාවක් ලැබුණි. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් බහරේන් ක්‍රීඩක ලූක් රඩ්ලි තවත් ලකුණු 3ක් බහරේන් කණ්ඩායම වෙනුවෙන් එක් කළේය. (08-03)

ඉතා උද්වේගකර බව නිසාදෝ දෙපිලම තම පිටියේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රයත්න දරන්නට විය. ඒ නිසාම බහරේන් ක්‍රීඩක අංක 4 ක්‍රීඩකයාට කහ කාඩ්පතක් නිකුත් විය. කෙසේ නමුත් නැවතත් පන්දුවේ වාසිය ලද බහරේන් කණ්ඩායම වෙත තවත් දඬුවම් පහර ද්විත්වයක් ලැබුණි. පෙර පරිදීම ලූක් එම දඬුවම් පහර දෙකම සාර්ථක කර ගත්තේය. (14-03)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 03 – 14  බහරේන් ක්‍රීඩා සමාජය

බහරේන් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දෙවැනි අර්ධයේ ද මහනුවර කණ්ඩායම අසරණ කරමින් දිගින් දිගටම ඉදිරියට ඇදෙන්නට විය. මනා පන්දු පාලනයත්, පිටියේ ඥානාන්විත හැසිරීමත් සමඟින් පිටියේ පැති රේඛාව අසලින්ම තවත් උත්සාහක දිනුමක් බහරේන් පිළෙන් වාර්තා විය. සුනා ෆාමිටාවෝ  එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (19-03)

ඉන් මිනිත්තු කිහිපයක් ගත වෙත්ම ලද ස්ක්‍රම් අවස්ථාවක් මැනවින් ලබා ගත් විශ්වමිත්‍ර ජයසිංහ මහනුවර කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය තිලින විජේසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදී. (19-10)

ඉන් තවත් මිනිත්තු කිහිපයක් ගතවුණු තැන මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් තිලිණ විජේසිංහ තවත් ත්‍රිත්වයක් මහනුවර ලකුණු පුවරුවට එක කළේය. (19-13)

විරෝධය නොතකා විදෙස් ක්‍රීඩකයින් මෙරටට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ලසිත ගුණරත්න මහතාගේ පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා දේශීය රග්බි පිටිය තවත් තරගකාරී….

බහරේන් කණ්ඩායම වෙනුවෙන් තවත් අනගි උත්සාහක දිනුමක් වාර්තා කරන්නට මාර්ක් බර්නල් සමත් විය. ඒ මීටර් 22 සීමාවේ සිට ක්‍රියාත්මක වූ දක්ෂ පන්දු හැසිරවීමකිනි. (24-13)

අනිසි බලපෑම් තරගය පුරාම දෙපිලෙන්ම දක්නට ලැබුණු අතර මහනුවර ධවල රේඛාව අසලින්ම සිදු කළ අනිසි බලපෑමක් නිසා දඩුවම් උත්සාහක දිනුමක් බහරේනයට උරුම විය. (31-13)

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දීප්තිමත් ක්‍රීඩක ලහිරු දවුලුගල මහනුවර ක්‍රීඩකයන් වෙනුවෙන් අස්වැසිල්ලක් ලබා දුන්නේය. එම උත්සාහක දිනුම හා තිලිනගේ සාර්ථක ප්‍රවර්තනය නිසාම මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 20ක් දක්වා තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය. (31-20)

ඒ සමඟින්ම තරගය අවසන් වූයේ අතලොස්සක් වූ තවත් අමිහිරි පරාජයක මතකයන් මහනුවර ක්‍රීඩා සමාජයට උරුම කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 20 (2T 2C 2P) – 31 (4T 3P) බහරේන් ක්‍රීඩා සමාජය

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • මහනුවර ක්‍රී. ස. – විශ්වමිත්‍ර ජයසිංහ 1T, ලහිරු දවුලුගල 1T, තිළිණ විජේසිංහ 2C, 2P
  • බහරේන් ක්‍රී. ස. – ලින්ඩ්සේ ගිබ්සන් 1T, සූනා ෆාමිටෝ 1T, මාර්ක් බර්නල් 1T, ලූකා රඩ්ලි 3P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<