IPL වෙන්දේසිය කල් දමයි; ස්ථානයේත් වෙනසක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2547

දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මීට පෙර එම වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනත් ඊයේ (09) දිනයේ දී එහි නව දින කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුවත් කර තිබෙනවා.

වෙන්දේසිය ස්තාන්බූල් හි දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, එය කිරීමට නොහැකි වීමෙන් පසුව සංවිධායකයින් වෙන්දේසිය සඳහා නව ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළ අතර කණ්ඩායම් 10ක නිලධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන එම අවස්ථාවට ස්ථානයක් සොයා ගැනීම පහසු වුනේ නැහැ.

ස්ථාන කිහිපයකින් පසුව ගෝවා නුවර දී එම වෙන්දේසිය පැවැත්වීම පිළිබඳව සංවිධායකයින් සොයා බැලුවත් පසුව එය කෝචි නුවරට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර එදින ම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම වෙන්දේසිය පැවැත්වෙන්නේ නත්තල් දිනයට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

මෙවර වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනා ක්‍රීඩකයින් පිළිබඳව නොවැම්බර් 15 වැනිදාට පෙර දැනුවත් කළ යුතු අතර නව වෙන්දේසියේ දී ඔවුන්ගේ කණ්ඩායම් මුදල ඉන්දීය කෝටි 5කින් වැඩි වීමට ද නියමිතයි.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම සිය සංචිත තහවුරු කරමින් සිටින අතර ඔවුන් තරගාවලියේ විශාල නම් කිහිපයක් වූ Mayank Agarwal, Odean Smith, Sahrdul Thakur, Shivam Mavi, Kane Williamson, Romario Shephered, Jason Holder සහ KS Bharat යන ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

එමෙන්ම Ravindra Jadeja සහ Chennai Super Kings කණ්ඩායම අතර ඇති වූ තත්වය නිසාවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවත් වේ යැයි බොහෝ මත පලවූවත්, ඔහුව තවමත් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<