පිටිය මැද අප්‍රකට කඩිසරයා – චාමර සිල්වා

9391
Sri Lankan batsman Chamara Silva plays a shot during the Cricket World Cup semi-final match between Sri Lanka and New Zealand at the R. Premadasa Cricket Stadium in Colombo on March 29, 2011. AFP PHOTO/ ISHARA S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)
 

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ නම් වශයෙන් ලියැවී ඇතත් එතරම් කතාබහට ලක් නොවන ක්‍රීඩකයින් ගැන අප කියවන සිව්වැනි කතාවයි මේ. පන්දු රකින විටත් කඩියෙකු මෙන් පිටිය මත එහා මෙහා දිව යන, පිතිකරණයේදීත් තණතීරුව මත කඩියෙකු මෙන් දිව යන මේ කඩිසර ක්‍රීඩකයා ගැන යමක් ලියා තැබීම ද කළ යුත්තක් යැයි හැඟේ. ස්වභාවික මෙන්ම අලංකාර පහරවල් වලින් සමන්විත වූ පිතිකරු චාමර සිල්වා, අද අපේ කතා නායකයායි.

>>රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්<<

වයස අවුරුදු 19ක පිතිකරුවෙකු ලෙස ඔහු ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට එක්වන්නේ 1999 ඕස්ට්‍රේලියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ඒ වන විට සමකාලීනයන් වූ කුමාර් සංගක්කාර හෝ ටී. එම්. ඩිල්ෂාන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වරම ලබා තිබුණේ නැත. එයම එක් පණිවුඩයකි. චාමර සිල්වා නම් පිතිකරු, මහේල ජයවර්ධන මෙන්ම යොවුන් අවධියේ දී ම තමන්ගේ දස්කම් ජාතික තලය මත විදහා දැක්වූ පිතිකරුවෙකු වීම ඊට හේතුවයි. ඒ තේරීම, සිදත් වෙත්තමුණි ප්‍රධාන එවකට තේරීම් කමිටුව අසරණ කළේ නැත.

ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ බිඳ වැටුණු අතර ලකුණු 48ට කඩුලු 4ක් දැවී තිබූ මොහොතේ පිටියට පිවිසි චාමර සිල්වා ඉතා හොඳින් ලකුණු අතරට පැමිණියේය. ඔහු පළමු තරගයේ දී ම ලකුණු 55ක් වාර්තා කළේ මංගල එක්දින තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙමිනි. එහි දී දැකිය හැකි වූ විශේෂිතම අංගයන් වූයේ කඩුලු අතර වේගයෙන් ධාවනය, පෙර පාදය දණහිසෙන් නවා එල්ල කරන පෙර පාදයේ අලංකාර පහරවල් සහ දඟපන්දු යවන්නන් හමුවේ කළ ඉක්මන් පාද චලනයයි. කෙසේ වෙතත් ෂේන් වෝන් හමුවේ ඔහු ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගිය පසු යළි ශ්‍රී ලංකා ඉනිම කඩා වැටිණි.

ඔහුට “සුදුසු” අවස්ථාව ලැබෙන තෙක් බලාසිටින්නට සිදුවිය.

එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරුවන් කිහිප දෙනෙකුම කණ්ඩායම හැර ගොස් තිබූ අතර එය නැවත ගොඩනැගීමේ කාර්යභාරය සඳහා ඉන්දික ද සේරම්, රසල් ආනෝල්ඩ් සහ චාමර සිල්වා ව අත්හදා බැලුණි. කෙසේ වෙතත් මංගල තරගයේ දී දැක්වූ ඉහළ දස්කම් නිසා ඔහු ගැන බලාපොරොත්තු පොදි බැඳුණු අතර ඊට ප්‍රතිචාර දැක්වීමේ දී සිල්වා අසාර්ථක විය. ආපසු හැරී බලන කල එය වටිනා අවස්ථාවක් මඟ හැරීමකි. එතැන් සිට ඉනිම් 5ක දී ම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ සිල්වාව කණ්ඩායමෙන් ඉවත් කළ නමුත් එදා ඔහු සාර්ථක වූවා නම් යැයි අද සිතේ.

ඉන් පසුව දේශීය මට්ටමේ දස්කම් දැක්වුවද, 2001 වසර දක්වාම ඔහුට ලැබුණේ ජාත්‍යන්තරයේ එක් අවස්ථාවක් පමණි. එය ද අසාර්ථක විය. පසුව 2002 වසරේ දී ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ දී ලකුණු 30ක් වාර්තා කළ සිල්වාට තවත් වසර 4ක්ම අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටින්නට සිදු විය. වයස අවුරුදු 19න් ජාත්‍යන්තරය තරණය කළ ඔහුගේ සුළු අසාර්ථකත්වය නිසා ඔහුට වයස අවුරුදු 27 දක්වාම “සුදුසු” අවස්ථාව ලැබෙන තෙක් බලා සිටින්නට සිදු විය. එහි දී ඔහුව ඇතුළත් කෙරුණේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී පැවති ටෙස්ට් තරගාවලියකටයි.

මංගල ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ඔහු විශාල බිංදු දෙකක් වාර්තා කළේය. ඔහු ගැන තිබූ සියලු බලාපොරොත්තු දියාරු වෙමින් පැවති අතර මීළඟ තරගයටත් ඔහුට අවස්ථාව ලැබුණේ පෙර වාසනාවකට ය. අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදුණු සිල්වා මීළඟ තරගයේ දී අර්ධ ශතකයක් (60) සහ දෙවැනි ඉනිමේ දී නොදැවුණු ශතකයක් (152*) වාර්තා කරමින්, තමන් සහභාගී වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ම පළමු අර්ධ ශතකයත්, පළමු ශතකයත්, පළමු ලකුණු 150ත් පසුකළේය. ඔහුගේ පිත්තට ගිනි ඇවිලුණේ ඉන් පසුවයි.

ඔහු තමන් කවුදැයි ඔප්පු කළේය.

2007 ඉන්දියානු එක්දින සංචාරයට ඇතුළත් වූ සිල්වා, එහි දී සිය පළමු එක්දින ශතකය (107*) වාර්තා කළේය. ඒ ලකුණු 56කට කඩුලු 4ක් දැවී තිබූ ඉනිමක් තනිවම ගොඩනගමිනි. ඒ වන විට එක්දින තරග කිහිපයකට පමණක් සහභාගී වී තිබූ බව ඔහුගේ දත්ත වාර්තාවලින් කීවද, ඊට වසර 7කටත් පෙර ජාත්‍යන්තර ලොවට පා තබා යළි කණ්ඩායමෙන් ඉවත් කෙරුණු ඔහුට දේශීය මට්ටමේ අත්දැකීම් රාශියක් එකතු කර ගැනීමට කාලය ලැබී තිබුණි. 

එම ඉනිමේ දී ඔහු ක්‍රීඩා කළ ආකාරය ඉතා මනරම් ය. ඉන්දියානු ප්‍රබල දඟපන්දු යවන්නන් හමුවේ ස්වීප් පහර තිතටම එල්ල කළ ඔහු මිඩ් ඕන් හරහා වේගවත් පහරවල් කිහිපයක් ද එල්ල කළේය. එමෙන්ම ඉදිරි පාදය නමා ඔහු විසින් එල්ල කරන ලද කවර් ඩ්‍රයිව් පහර විචාරක පැසසුමට ලක්වූ අතර ඔහුගේ පුල් සහ හුක් පහරවල් සැසඳුණේ මෙරටින් බිහි වූ විශිෂ්ටතම පිතිකරු මෙන්ම තවත් “සිල්වා” කෙනෙකු වූ අරවින්ද ද සිල්වාගේ නම සමඟ ය.

ඉන්පසුව 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹිණි. එහි දී තරගාවලියේ කැපී පෙනෙන මැදපෙළ පිතිකරුවෙකු වූ සිල්වා, අර්ධ ශතක 4ක් සහ නොදැවුණු ඉනිම් දෙකක් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේ ඒ වන විට පිතිකරණයේ ඉහළ රිද්මයක සිටි මහේල ජයවර්ධන හට පමණක් දෙවැනි වෙමිනි. එම ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලෝක අනුශූරයන් බවට පත්විය.

එම තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේ දී ඔහු විසින් එල්ල කළ “හෙලිකොප්ටර් ෂොට්” එසේත් නැත්නම් “කැරිබියන් ෆ්ලික්” පහර ඒ වන විට ක්‍රිකට් පොතේ ජනප්‍රිය පහරක්ව තිබුණේ ද නැත. සිල්වා එතරම්ම ස්වභාවික දක්ෂයෙකි. ඔහු ඒ පහර එල්ල කිරීමත් සමඟ විචාරක අවධානය තව තවත් ඔහු වෙතට කේන්ද්‍රගත වූ අතර පසුව ඉන්දියානු මාධ්‍ය විසින් එය මහේන්ද්‍ර සිං දෝනිගේ නමට ලියා දුන්නේය. 

පා ඉන්න දෙසින් ඔහු කළ “ෆ්ලික්” කිරීම් මනරම් ය.

එම දක්ෂතා සමඟින් කලකට පෙර තමන් සතු විය යුතුව තිබූ මැදපෙළ ස්ථානය තහවුරු කර ගත් සිල්වා එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු විය. ටෙස්ට් තරගවලට ලබා ගත් විශ්මයජනක ආරම්භයට පසුව ඔහු ලකුණු 40-50 ටෙස්ට් ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ ද ඔහුගෙන් බලාපොරොත්තු වූ දීර්ඝ ඉනිම් ලබා දීමට නොහැකි වීම සහ ටී. එම්. ඩිල්ෂාන්ගේ සාර්ථකත්වයත් සමඟින් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය සිල්වාට අහිමි විය.  

2008 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහි පළමු එක්දින තරගයේ දී සිල්වා පිටියට පිවිසෙන විට ලකුණු තත්වය 42-4කි. එහෙත් පීඩනය දරා ගනිමින් චාමර කපුගෙදර හා එක්ව ඉනිම ගොඩනැගූ සිල්වා ලකුණු 67ක් වාර්තා කළේ හයවැනි කඩුල්ල සඳහා ලකුණු 159ක සබඳතාවයක් පවත්වමිනි. එය 2019 වසරේ දී බිඳ වැටෙන තුරුම, ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ සයවැනි කඩුල්ලේ ඉහළම ලකුණු සබඳතාවයයි.

ඔහුගේ වේගවත් පිතිකරණය සහ දඟපන්දු යවන්නන්ට එරෙහිව කඩිසරව ක්‍රීඩා කරන විලාශය මෙන්ම දක්ෂ ලෙස පන්දු රැකීමේ හැකියාව නිසා 2008 දී ඇරඹුණු IPL විස්සයි-විස්ස තරගාවලියේ දී ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වරම ද ඔහුට හිමි විය. තරග 3කට පමණක් සහභාගී වූ ඔහු 153.84ක ප්‍රහාරක වේගයක් සමඟ ලකුණු 20ක සාමාන්‍යයක් පවත්වා ගෙන තිබුණි.

ඔහු අති දක්ෂ පන්දු රකින්නෙකි.

තමන් පිතිකරණයේ යෙදුණු එක්දින ඉනිම් 62න් 61ක දී ම ඔහු පන්දුවට පහර දී ඇත්තේ අංක 5 හෝ ඊට පහළ ස්ථානයක දී ය. එම ස්ථාන තරග අවසන් කරන්නන්ගේ ස්ථාන නිසා ඒවායේ දී පීඩනය දරාගෙන ලකුණු රැස්කිරීම එතරම් පහසු නොවන බව අපි දනිමු. එමෙන්ම ආත්මාර්ථය හැරදමා කණ්ඩායම වෙනුවෙන්ම ලකුණු රැස්කරන්නට යාමේ දී ඔහු දැවී ගිය අවස්ථා එමට ය. ඔහුට එක්දින අර්ධ ශතක 13ක් සහ එක් ශතකයක් පමණක් හිමිව ඇත්තේ එබැවිනි.

කෙසේ වෙතත් වසර 7කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පැමිණ එහි නිත්‍ය ස්ථානයක් අත්පත් කරගත් සිල්වාට එය පවත්වා ගන්නට හැකි වූයේ වසර 4ක් පමණි. 2011 අගෝස්තු මාසයේ දී ඔහුව කණ්ඩායමෙන් නෙරපන්නට එක් තරගයකට පෙරත් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉතා වැදගත් වූ ලකුණු 63ක් වාර්තා කළේය.

එක්දින තරග 75ක කෙටි ජාත්‍යන්තර දිවියක් තුළ වුවද ප්‍රේක්ෂකයන්ගේ සිත් පැහැරගන්නට ඔහු සමත්ව තිබුනේ ඔහුගේ පිතිකරණ විලාශය නිසයි. එමෙන්ම පිටිය හරහා වේගයෙන් ඇදී යන පන්දු රකින්නෙකු මෙන්ම විශිෂ්ට උඩ පන්දු රැකගන්නෙකු ද වූ සිල්වා, එයින් ද ප්‍රේක්ෂක සිත් සොරාගත්තේය.

ලෝක පූජිත පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, මුල් පෙළ පිතිකරුවෙකු ලෙස පවා එක්දින තරග 76ක් පුරාවටම එක් ශතකයක්වත් රැස්කරගෙන සිටියේ නැත. ශ්‍රී ලංකාවේ පිතිකරණ විශිෂ්ටයෙකු වූ කුමාර් සංගක්කාර පවා එක්දින තරග 85ක්ම ක්‍රීඩා කළේ ශතකයක් රහිතව ය. ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය ද එක්දින තරග 70ක් පමණ ක්‍රීඩා කළේ ශතකයක් රහිතව ය. ඔවුන්ගේ ක්‍රිකට් යුග එළඹුණේ පළමු ඉනිම 75න් පසු ය. එහෙත් සිල්වාගේ ඒ යුගය නැරඹීමට නොහැකි වීම කනගාටුවකි. මැදපෙළ පිතිකරුවෙකු සතු විය යුතු ස්වීප් පහරේ, පුල් පහරේ, ෆ්ලික් පහරේ, වේගවත් කඩුලු අතර දිවීමේ මෙන්ම අවස්ථාව හැඳිනගෙන ක්‍රීඩා කිරීමේ ස්වභාවික හැකියාවෙන් යුක්ත වූ චාමර සිල්වා, තමන් ක්‍රීඩා කළ එක්දින තරග 75 තුළ දීම අපගේ මනසේ තැන්පත් වන දක්ෂතා දැක්විය.

වැදගත් වන්නේ තරග ගණන හෝ ලකුණු ගණන නොව, අභියෝග මැද සටන් වැදුණු ඒ මතකයයි. එවන් පිතිකරුවෙකු මැදපෙළ ශක්තිමත් කිරීමේ දී අනෙකුත් පිතිකරුවන් කෙතරම් විශ්වාසයෙන් පන්දුවට පහර දෙන්නේ දැයි කියතොත්, චාමර සිල්වා ක්‍රීඩා කළ කාලය තුළ ශ්‍රී ලංකාව එක්දින ලෝක අනුශූරතා දෙකක්, විස්සයි-විස්ස ලෝක අනුශූරතාවයක් හිමිකරගත් විශිෂ්ට කණ්ඩායමකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<