ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ත්‍රිබල 3W’s

443

අපේ රටේ අර්ජුන රණතුංග “කැප්ටන් කූල්” වෙද්දී, සනත් ජයසූරිය “මාස්ටර් බ්ලාස්ටර්” වෙන්නෙ මෑත කාලයේ දී. ක්‍රිකට් විචාරකයෝ එහෙම නම් දුන්නේ ඔවුන්ගේ දක්ෂතා අනුව. ඒ ආකාරයෙන්ම මීට දශක කිහිපයකට ඉහත ද විවිධ දක්ෂතා සහිත ක්‍රීඩකයන් බිහි වුනා. ඒ අතුරින් “ත්‍රි ඩබ්ලිව්ස්ලා”ටත් (3W’s) සුවිශේෂී තැනක් හිමි වුනා. කවුද මේ 3W’s.

ක්‍රිකට් ආධිපත්‍ය දැරූවන් අහක බලා ගත් “සිලෝන් කණ්ඩායම”

3W’s කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පාතාක යෝධයන් ලෙසින් හඳුන්වන්න පුළුවන්. 1948-1957 කාලයේ ලෝක ක්‍රිකට් පිටිය හෙල්ලූ දක්ෂයන් තිදෙනෙක්. ටෙස්ට් වරම් හිමිකරගත් පිළිවෙළට සටහන් කළොත්, ශ්‍රීමත් එවර්ටන් වීක්ස් (Everton Weeks), ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් (Clyde Walcott) සහ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් (Frank Worell) තමයි මේ තිදෙනා. තිදෙනාගේම අවසන් නාමය W අකුරෙන් ආරම්භ වෙන නිසා තමයි, ඔවුන් 3W’s නමින් හැඳින්වෙන්නේ. 

ඔවුන් තිදෙනාම නයිට්වරුන්. කෙනෙක්ට නයිට් නාමය ලැබෙන්නෙ නිකං ම නෙමෙයි නේ. ඊට රාජත්‍රාන්ත්‍රිකව බොහෝ කාරණා කටයුතු සිදු වෙන්න ඕන. බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යය මේ තිදෙනාටම ශ්‍රීමත් නාමය පිරිනමන්නේ එරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය නිසා. ඉන් නොනැවතෙන කොදෙව් රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් බාබේඩෝස්හි පිහිටි බටහිර ඉන්දීය කොදෙව් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටිය ඔවුන් වෙනුවෙන් 3W’s ඕවල් නමින් නම් කරනවා. ඒ වගේම එතැන ඔවුන් තිදෙනාගේ උඩුකය රූපවලින් යුත් ස්මාරක ද ගොඩ නගනවා. 

West Indies cricketer Clyde Walcott at a practice session at Lords. (Photo by S&G/PA Images via Getty Images)

බාබඩෝස් හී පයින් ගිය හැකි දුරක නිවෙස් පිහිටි මේ 3W’sලා අතුරින් වැඩිමලා වෙන්නේ, ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්. ළාබාලයා වෙන්නේ  ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට්. ඔවුන් දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නැහැ. ජීවතුන් අතර ඉන්න එකම කෙනා වන ශ්‍රීමත් එවර්ටන් වීක්ස්ට මේ වන විට වයස අවුරුදු 95ක් වෙනවා. 

3W’sලා එක්ව පෑ දක්ෂතා

Players Mat Inns NO Runs HS Ave 100 50
ශ්‍රීමත් එවර්ටන් වීක්ස් 28 49 2 2244 207 47.74 6 11
ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් 28 50 4 2192 168 47.65 9 5
ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්  28 49 3 2368 261 51.47 7 9

දකුණත් පිතිකරුවන් වන මේ තිදෙනාම මංගල ටෙස්ට් වරම් දිනා ගන්නේ එකම තරගාවලියක දී වීම ද විශේෂයි. 1948 වසරේ ජනවාරියේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඔවුන් මේ අවස්ථාව උදා කර ගත්තා. 

දෙරට අතර පළමු තරගය ජනවාරි මස 21 වැනිදා බාබඩෝස් හි කෙනින්ටන් ඕවල් පිටියේ දී ආරම්භ වෙන අතර එම තරගයේ දී ශ්‍රීමත් ක්ලයිඩ් වෝල්කට් සහ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් මංගල ටෙස්ට් වරම් දිනා ගන්නවා. ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් ටෙස්ට් වරම් දිනා ගන්නේ පෙබරවාරි මස 11 වැනිදා ට්‍රිනිඩෑඩ් හි ක්වින්ස් පාක් හිදි පැවති දෙවැනි තරගයේ දී. 

එතැන් සිට මේ තුන් කට්ටුව ටෙස්ට් තරග 28කට එක්ව තරග කරනවා. ඔවුන්ගේ එම තරගවල ද දක්ෂතාව එක හා සමාන බවක් උසුලනවා.

එහි දී වැඩිම ලකුණු ලබා ගන්නේ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්. ඔහු ඉනිම් 47ක දී ලකුණු 2368ක් ලබා ගන්නවා. ලකුණු ලබා ගැනීමේ දී ඉනිමක වැඩිම සාමාන්‍ය රඳවා ගන්නේත් ඔහුමයි. ශතක ලබා ගැනීමේ දී ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් රැඳී සිටින විට අර්ධ ශතක වාර්තා කිරීමේ දී ඉහළින්ම සිටින්නේ ශ්‍රීමත් එවර්ටන් වික්ස්.  

3W’sලාගේ කලඑළි බැසීම

ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් එංගලන්තයට එරෙහිව 1950 ජූලි මාසයේ නොටින්ග්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවති තරගයේ දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 283ක සබඳතාවක් ගොඩනගනවා. එය ඒ වෙද්දී එම කඩුල්ල වෙනුවෙන් පැවති හොඳම සබඳතාවය ද වෙනවා. එම තරගයේ දී ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් ලකුණු 261ක් ද, වික්ස් ලකුණු 129ක් ද වාර්තා කරනවා. 

ශ්‍රීමත් එවර්ටන් වීක්ස්

එම තරගයේ දී ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් ඉනිම් දෙකේ දී ම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වෙනවා. නමුත් පෙර තරගයේ දී ඔහු විසින් රැස් කරන ලද ශතකය ද හේතුවෙන් විචාරකයන් මේ තිදෙනාගේ දක්ෂතා ඇගයීමට ලක් කරනවා.

පළමු වෙන්වීම

තරග 9කට පසුව මේ තිදෙනා අතුරින් පළමුවෙන්ම කණ්ඩායමේ තාවකාලිකව ඉවත් වීමට සිදු වෙන්නේ කඩුලු රැකි ක්‍රීඩක ක්ලයිව් වෝල්කට්ට. ඒ 1951 දෙසැම්බරයේ පැවති ඕස්ට්‍රේලියා තරග සංචාරයේ පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී. 

එසේ වූවත් නැවත එම තරගාවලියේම 5 වැනි ටෙස්ට් තරගයේ දී ඔවුන් තිදෙනා එකට හමුවෙනවා. සිඩ්නි ක්‍රීඩාංගණයේ දි පැවති මෙම තරගයේ දී ඔවුන්ට සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට හැකි වුනේ නැහැ. එම තරගයේ ඉනිම් දෙකේ දී ම තිදෙනාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි. 

ශතක තුනක්

අනතුරුව 1953 මාර්තු 28 වැනිදා ඉන්දියාව සමඟ පැවති කිංග්ස්ටන් හිදී ආරම්භ වූ තරගයේ දී ඔවුන් තිදෙනාම ශතක ඉනිම් ක්‍රීඩා කරනවා. එහි දී ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් ලකුණු 237ක් ලබා ගනිද්දී, ශ්‍රීමත් එවර්ටන් වීක්ස් ලකුණු 109ක් ද, ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් ලකුණු 118ක් ද ලබා ගන්නවා. 

එහි දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් එක්ව ලකුණු 197ක සබඳතාවක් ද, ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ශ්‍රීමත් ක්ලයිව් වෝල්කට් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 213ක සබඳතාවක් ද ගොඩ නගනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ඉනිමේ දී සියලුම දෙනා දැවී ලකුණු 576ක් රැස් කරද්දී ඔවුන් තිදෙනා විසින් පමණක් ලකුණු 462ක් රැස් කරනවා. 

දෙවැනි වෙන්වීම

එම තරගාවලියෙන් අනතුරුව නැවත වරක් මේ ත්‍රිත්වය බිඳී යනවා. ඒ එංගලන්තය සමඟ 1954 ජනවාරියේ පැවති එංගලන්ත කළ කොදෙව් සංචාරයේ දී. තරග 5කින් යුතු එම තරගාවලිය සඳහා මේ තිදෙනා කණ්ඩායමට ඇතුළත් වූව ද ඔවුන් නැවත වතාවක් එක් තරගයක එක් වෙන්නේ තෙවැනි තරගයේ දී. මේ තුන් කට්ටුව එම තරගයේ දී යම් තරමක සාර්ථකත්වයක් දැක්වූවද එය එතරම්ම කැපී පෙනුණේ නැහැ. එම තරගයේ දී කැපී පෙනෙන යමක් කෙරුණි නම් ඒ එවර්ටන් වික්ස් ලබා ගත් ලකුණු 94යි. 

නැවත ශතක තුනක්

ඊට පසුව පැවති තරගයේ දී නැවත ලෝක අවධානය දිනා ගැනීමට මේ තිදෙනා සමත් වුනා. 1954 මාර්තු 17 වැනිදා ආරම්භ වූ සිව්වැනි තරගයේ දී එවර්ටන් වීක්ස් ලකුණු 206ක් ද, ෆ්‍රෑන්ක් වොරල් ලකුණු 167ක් ද සහ ක්ලයිඩ් වොල්කොට් ලකුණු 124ක් ද ලබා ගන්නවා. එම ඉනිමේ දී කොදෙව්වෝ කඩුලු 8ක් දැවී ලකුණු 681ක් ලබා ගන්නා අතර 3W’sලා එක්ව ඉන් ලකුණු 497ක් රැස් කරනවා. එය ඔවුන් තිදෙනා එක්ව ගොඩ නැගූ සාර්ථකම ඉනිම වුනා. 

කොදෙව් පැරණිතම වාර්තාව

ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්

එහි දී එවර්ටන් වීක්ස් සහ ෆ්‍රෑන්ක් වොරල් එක්ව තෙවැනි කඩුල්ලට රැස් කරන ලද ලකුණු 338 අදටත් වාර්තාවක් ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාස පොත සරසනවා.  කොදෙව් සබඳතා වාර්තා අතර පැරණිතම වාර්තාව වන්නේ ද එයයි. 

එම දැවැන්ත ඉනිමට අනතුරුව ඔවුන් තිදෙනා එක්ව තවත් තරග දෙකකට ක්‍රීඩා කළ ද අනතුරුව 1955 පැවති ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියේ දී නැවත මේ තුන් කට්ටුවට බිඳී යනවා. ඊට පසුව ඔවුන් නැවත එක් වෙන්නේ එම සංචාරයේම තෙවැනි ටෙස්ට් තරගයේ දී. 

ඉනිම දෙකේ දී ම ශතක 

මේ තිදෙනා අතුරින් ශ්‍රීමත් ක්ලයිඩ් වෝල්කොට් ඔස්ට්‍රේලියාවට එරෙහිව 1955 ජුනි මස 11 වැනිදා කිංග්ස්ටන් හිදි ආරම්භ වූ තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කරමින් කැපී පෙනෙන පිතිකරුවෙක් ද වුනා. 

1956 පෙබරවාරියේ කොදෙව් කණ්ඩායම කළ නවසීලන්ත සංචාරයේ දී අවස්ථාවක් හිමි වෙන්නේ එවර්ටන් වික්ස්ට පමණි. එම තරග සංචාරයෙන් අනතුරුව 1957 මැයි එංගලන්තයේ දී ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නැවත වතාවක් මේ තුන් කට්ටුව කැඳවූවා. 

3w’sලාගේ අසාර්ථකම තරගය

තිදෙනා එක්ව සහභාගී වූ අසාර්ථකම තරගය වුනේ 1957 අගෝස්තු 22 ආරම්භ වූ එංගලන්තය සමඟ ද ඕවල් පිටියේ දී පැවති තරගයයි. එම තරගයේ දී මේ තිදෙනාගේ දායකත්වය ලකුණු 28ක් පමණක් වුනා. එය පළමු ඉනිමේ දී ලකුණු 9ක් ලෙසත්, දෙවැනි ඉනිමේ ද ලකුණු 19ක් ලෙසත් සටහන් වුනා. 

එය 3w’sලා එකට එක්ව ක්‍රීඩා කළ අවසාන තරගයයි.

3W’sලාගේ ටෙස්ට් තරග දක්ෂතා

Players Mat Inns NO Runs HS Ave 100 50
ශ්‍රීමත් එවර්ටන් වීක්ස් 48 81 5 4455 207 58.61 15 19
ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් 44 74 7 3798 220 56.68 15 14
ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් 51 87 9 3860 261 49.48 9 22

විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය

3w’sලා අතුරින් පළමුවෙන්ම විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් පුදනු ලබන්නේ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්. ඒ 1950 වසරේ දී. එමෙන්ම ශ්‍රීමත් ක්ලයිඩ් වොල්කොට් 1954 වසරේ දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරෙනවා.

නායකත්වය

මේ තිදෙනා අතුරින් කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වරම් දිනා ගන්නේ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් පමණයි. ඔහුගේ නායකත්වය තවත් වැදගත් බවක් උසුලනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය ඉසිළු පළමු කළු ජාතිකයා ඔහු බවට  පත් වෙමින්. 

1960-63 කාලයේ දී තරග 15ක දී තම කණ්ඩායම මෙහෙයවන ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්, එහි දී තරග 9ක් ජයග්‍රහණය කරන්නේ තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කරමින්. පරාජිත තරග සංඛ්‍යාව වූයේ තරග 3ක්. 

කොදෙව් ඉතිහාසයේ ලකුණු සම වීමෙන් අවසන් වූ එකම ටෙස්ට් තරගය මෙහෙයවීමේ ගෞරවය ද හිමි වෙන්නේ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්ට. ඒ 1960 දෙසැම්බර් මස 9 වැනිදා බ්‍රිස්බන් හිදී ආරම්භ වූ ඕස්ට්‍රේලියාව සමඟ තරගයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<