ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුවත් බැරි නැතුවත් බැරි ‘රවී’

144
Photo courtesy : Getty Images

“ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක්. ඒ වෙනුවෙන් තිබූ අවස්ථා හරිම සීමිත තැනක තිබුණේ. කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේ විනෝදාංශයක් ලෙසින් පමණයි.”

රවිශංකර් ශාස්ත්‍රී එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා රවී ශාස්ත්‍රී තමන්ගේ ක්‍රිකට් ආරම්භය ආවර්ජනය කරන්නේ එහෙමය.

ක්‍රිකට් ලොවම භීතියෙන් මුසපත් කළ ‘සුදු අකුණු සැරය’

අසීමිතව රග්බි ක්‍රීඩාවට පෙම් කළ ඔහු කිසිමදාක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට…

1962 වසරේ මැයි 27 වෙනිදා ඉන්දියාවේ බොම්බායේ දී උපත ලද ශාස්ත්‍රීට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමක් ගැන සිතක් පහළ වන්නේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී.

“මට මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි කැමැත්තක් ඇති වුනේ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන විට. පාසලෙන් පසුව රංජි කුසලානය වෙනුවෙන් බොම්බාය කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුනා. බොම්බාය කණ්ඩායමට ක්‍රීඩා කරන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් කියා විශ්වාසයක් ඇති වුනා.

මට තිබුණේ ඉතාම ඉක්මන් ගමනක්. අවුරුදු 13 දී මම මුලින්ම පාසලේ ක්‍රිකට් හා සම්බන්ධ වුනේ. අවුරුදු 18 වෙද්දී මම ජාතික වරම් දිනා ගත්තා.”

1980/81 ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අතරතුර රවී ශාස්ත්‍රී නම් දහඅට හැවිරිදි තරුණයාට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමට කැඳවීමක් ලැබෙන්නේය.

“මගේ පළමු ටෙස්ට් තරගය 1980/81 නවසීලන්ත කණ්ඩායමට එරෙහිව. පැය 30කට අධික ගුවන් ගමනකින් අනතුරුව මම වෙලිංටන් වෙත ළඟා වුනේ තරගයට පෙරදා රාත්‍රී නමයට පමණ.

පසුවදා උදෑසන බලධාරීන් මට කිව්වා ඔබ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව. හරියාකාරයේ නින්දක් හෝ නොමැතිව මා ටෙස්ට් වරම් දිනා ගත්තා.

කාසියේ වාසිය පැරදී ඉන්දියානු කණ්ඩායමට මුලින්ම පන්දු රැකීමටයි සිදු වුනේ. තරගයේ දිවා ආහාරයට පෙර නායක සුනිල් ගවස්කාර් මට පන්දු යැවීම බාර කළා. පළමු ඉනිමේ කඩුලු තුනක් දවා ගැනීමට මට හැකියාවක් ලැබුණා.

නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 78කට කඩුලු 6ක් දැවී ගොස් ඇති විටක මට නැවත පන්දුව බාර කෙරුණා. එක් අවස්ථාවක මට පිට පිට පන්දු හතරකින් කඩුලු තුනක් දවා ගැනීමට හැකි වුනා. ඒ උඩපන්දු තුනම රැකගත්තේ දිලීප් වෙන්සාකර් විසින්.

මට පිතිකරණයට නම් අවස්ථාවක් ලැබුණේ නොම්මර දහය ක්‍රීඩකයා ලෙසයි. යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මා සමඟ ටෙස්ට් වරම් දිනා ගත් තවත් ක්‍රීඩකයෙක්.

පළමු ටෙස්ට් තරගාවලියේ දී ම මම කඩුලු 15ක් දවා ගත්තා.

මා හැම විටම හිතුවේ මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියා. මම කැමතිත් මාව තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් හඳුන්වනවාට. මම ක්‍රීඩාව ආරම්භ කළේ වමත් පිට දඟපන්දු යවන්නෙකු ලෙසින්. මගේ පිතිකරණ හැකියාව ඉදිරියට එන්නට තරමක කාලයක් ගත වුනා. නමුත් ටික කාලයක් යද්දී මගේ පිතිහරඹයත් තරමක් දුරට දියුණු වුනා.”

ශාස්ත්‍රීගේ පිතිහරඹය කෙතරම් දියුණු වූයේ ද යත් පසු කලෙක ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධුරයට ද පණ පෙව්වේය. ලෝකයේ ප්‍රබලතම පන්දු කරුවන් ඉදිරියේ ශතක ලබා ගත්තේය.

“1983 වසරේ ජනවාරියේ මම ක්‍රිකට් දිවියේ මුල්ම ටෙස්ට් ශතකය ලබා ගත්තා පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. එම තරගාවලියේ අවසන් තරගයේ දී තමයි මම මුල්ම වතාවට ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ.

කාලයක් ගත වෙද්දී මට පන්දු යැවීමට වඩා පන්දුවට පහර දීමට මූලිකත්වය දෙන්න සිදු වුනා. බොහෝ දෙනෙක් පැවසුවා මගේ පිතිහරඹ රටාව එතරම් ආක්‍රමණශීලී නැහැ කියා. නමුත් ආරම්භක පිතිකරුවා ලෙස මට කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් ඉටු කිරීමට තිබුණා. නව පන්දුව පරණ කිරීම, ඉනිම ගොඩ නැගීම ඔබ සිතන තරමින් ලෙහෙසි පහසු කාර්‍යභාරයක් නොවෙයි.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම තරම් වෙන කිසිවක් මට තෘප්තියක් ගෙන ආවේ නැහැ. ලෝකයේ අති විශිෂ්ට පන්දු යවන්නන් ඉදිරියේ මට ක්‍රීඩා කිරීමට සිදු වුනේ.

වරක් හිටපු ඉන්දියානු නායක කපිල් දේව් පැවසුවා මම 50% හැකියාවක් ඇති 200% උත්සාහයක් ධෛර්යයක් ඇති ක්‍රීඩකයෙක් බව. ඔහු නිවැරදියි. නමුත් එතරම් අඩු හැකියාවක් ඇති ක්‍රීඩකයෙකුට ටෙස්ට් ශතක දහයකට වැඩි ප්‍රමාණයක් රැස් කර ගන්න ලැබෙන්නේ නැහැ. මම හැම විටම ආරම්භක පිතිකරණ ස්ථානය සැලකුවේ අභියෝගයක් ලෙසින්. 

නම් දැරූ පන්දු යවන්නන් මෙන්ම නම් දැරූ කණ්ඩායම් මා කෙදිනකවත් බියට පත් කළේ නැහැ.”

ඉන්දියානු ප්‍රේක්ෂකයින් වරක් තරගයක් අතරතුර ශාස්ත්‍රීගේ මන්දගාමී පිතිහරඹයට එරෙහිව හඬක් නගන්නට විය.

“ඉතාම කුඩා අවධියේ දී විශාල සහජ හැකියාවක් පෙන්නුම් කළාම ප්‍රේක්ෂකයින් ඔබ ගැන සෑහෙන බලාපොරොත්තු තබා ගන්නවා. ඔබ අසාර්ථක වන විට ඔවුන් ඔබට විරුද්ධව නැගී සිටිනවා.

වරක් කල්කටා නුවර දී එංගලන්තයට එරෙහිව මා ශතකයක් ලබා ගත්තා. එය තරමක් මන්දගාමී එකක්. පන්දු  325ක් තුළ ශතකයක්. ඉන්දියානු ප්‍රේක්ෂකයින් මට උසුළු විසුළු කරන්නට පටන් ගත්තා. කොයි තරම් උසුළු විසුළු කළත් මම මගේ ඉනිම අත් නොහරින්නට තීරණය කර තිබුණා.

ඊට දින කිහිපයකට පසු මම බොම්බාය කණ්ඩායම නියෝජනය කරමින් බැරෝඩා කණ්ඩායමේ තිලක් රාජ්ගේ පන්දුවාරයකට හයේ පහර හයක් එල්ල කළේ. 

මම ඒ වෙද්දී ශතකයක් වාර්තා කරගෙන හිටියේ. මට පණිවිඩයක් ලැබුණා හැකි තරම් වේගයෙන් ලකුණු රැස් කරන ලෙසට. එහි ප්‍රතිඵලය තමයි තිලක් රාජ්ට එල්ල කළ හයේ පහර හය. ඒ වෙන කොට එහෙම දස්කමක් දක්වල තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් පමණයි.”

රවී ශාස්ත්‍රී අවුරුදු හතරක කාලයක් එංගලන්තයේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළේය.

“එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉන්දියාවේ සිටිය දී මාධ්‍යවේදීන් එල්ල කරන දැඩි පීඩනයෙන් මිදීමට එය සාර්ථක මගක් වුනා. විශේෂයෙන්ම ග්ලැමෝගන් කණ්ඩායමේ සිටියේ තරුණ ක්‍රීඩකයින්. එය මට සහනයක් වුනා. මම එහි දී බොහෝ දේ ඉගෙන ගත්තා.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ‘ඇතර්ස්’

1995 වසරේ දෙසැම්බර් හතර වැනිදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස්….

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී ඔබට මුහුණ දීමට සිදුවන්නේ ක්‍රිකට් ලොව නම ගිය දැවැන්තයින්ට. ගෝර්ඩන් ග්‍රින්ඡ් සහ මැල්කම් මාර්ෂල් හැම්ප්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළ අතර රිචර්ඩ් හැඩ්ලි සහ ක්ලයිව් රයිස් නොටිහැම්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළා. මයිකල් හෝල්ඩිං ඩාර්බිෂරයට ක්‍රීඩා කළ අතර ඩෙස්මන්ඩ් හෙන්ස් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ සිටියා. 

ග්‍රැහැම් ගූච් සහ ඇලන් බෝඩර් එසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළා. හැම ප්‍රාන්ත කණ්ඩායමකම දැවැන්ත ක්‍රීඩකයින් සිටියා. අපිට ක්‍රීඩා කිරීමට තිබුණේ එකිනෙකට වෙනස් තණතීරු සහ කාලගුණ තත්වයන් යටතේ. එය මට විශාල අත්දැකීමක් වුනා.”

රවී ශාස්ත්‍රී නම් ඉන්දියානුවා තමාට ක්‍රිකට් පිටියේ හමු වූ විශාලතම අභියෝගය ලෙස පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩෑඩ් හඳුන්වයි.

“ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම් වැනුන් හරිම දක්ෂයින්. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් හැමදාම අභියෝගයක්. නමුත් ජාවේඩ් මියැන්ඩෑඩ්ට තිබුණේ පුදුමාකාරයේ ධෛර්යයක්. ඔහු සෑම විටම ප්‍රතිවාදියා අවුල් කොට දිනුම ලබා ගන්නට දක්ෂයෙක්. නමුත් පිටියෙන් ඉවත දී ඔහු හොඳ මිත්‍රයෙක්.”

ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු, විස්තර විචාරකයෙකු සහ පුහුණුකරුවෙකු හැරුණු විට ක්‍රිකට් ලෝකයට රවී ශාස්ත්‍රී ගැන ඇති අනෙක් මතකය ෂේන් වෝන්ගේ පළමු ටෙස්ට් කඩුල්ල යන්නයි. වෝන් ශාස්ත්‍රීගේ කඩුල්ල දවා ගත්තේ ශාස්ත්‍රී ලකුණු දෙසීයකටත් වඩා රැස් කර සිටි මොහොතකය.

“ඔහුට හොඳ පාලනයක් තිබුණා. පන්දුව විශාල වශයෙන් දඟ කැවීමේ හැකියාවක් තිබුණා. ඔහු පන්දුව ගුවනට මුසු කරමින් සෑම විටම පිතිකරුවන් අසීරුතාවයකට පත් කරන්නට උත්සහ කළා. මම තවමත් ඕස්ට්‍රේලියානුවන්ට කියනවා මට ඕස්ට්‍රේලියාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබා දිය යුතු බව. ඒ ටෙස්ට් කඩුලු 700ක් දවා ගැනීමට ෂේන් වෝන්ට මුල්ම ටෙස්ට් කඩුල්ල ලබා දී ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි විශ්වාසය ඇති කළ නිසා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<