සිව්වැනි තැනින් ප්‍රථම තැනට එන්නට වෙර දරණ ජ’පුර සංචිතය

579

අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයකි. මෙවර තරගාවලිය වෙනුවෙන් සහභාගී වන සියලු විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් පිළිබඳව ThePapare.com අප සොයා බලන අතර මෙම ලිපිය වෙන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙනි.

“විස් විදු” රග්බි ශූරතාවයට කොළඹ සරසවියෙන් ප්‍රබල සංචිතයක්

ජාත්‍යන්තර රග්බි උණුසුම පහව යන්නටත් පෙර ජාතික ක්‍රීඩා පිටිය තුල නැවතත් මහා සංග්‍රාමයක් …

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවලියට සහභාගී වන තවත් විශ්ව විද්‍යාලයක් වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රග්බි ඉතිහාසය 1983 වසර දක්වා ඈතට දිවයන්නකි.

ඔවුන් පසුගිය වසරේ පැවති තරගාවලියේ දී සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වූ අතර ඔවුන්ගේ දක්ෂතා අතර 2014 වසරේ මැලේසියාවේ පැවති සත් සාමාජික විශ්ව විද්‍යාල තරගාවලියේ පලිහ ශූරතාවත්, එම වසරේම “මෝරා සෙවන්ස්’ සත් සාමාජික තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමත් පෙන්වා දිය හැකිය. මීට අමතරව එම තරගාවලියේම 2015 වසරේ බඳුන ශූරතාවය දිනා ගනිමින් ද, 2016 ආරක්ෂක විශ්ව විද්‍යාලය ‘දස’ තරගාවලියේ අනුශූරයන් වෙමින් ද දක්ෂතා දක්වන්නට ජ’පුර රග්බි කණ්ඩායම සමත් වී ඇත.

පසුගිය මාසයේ නැමීබියාවේ දී නිමා වූ ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ජ’පුර සංචිතය නියෝජනය කිරීම ඔවුන්ට ඉතා වාසිදායක තත්වයක් වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ කෝසල පහළගම ද ඒ අතරට එක්වීම විශේෂත්වයක්.

හිටපු කිංග්ස්වුඩ් පළමුපෙළ ක්‍රීඩකයෙකු වූ කසුන් හේරත් විසින් මෙවර කණ්ඩායමේ නායකත්වය දරන අතර පසුගිය තරග වාරයේ දී අංක 8 ස්ථානයෙහි ක්‍රීඩා කරමින් කණ්ඩායමට ජීවය දුන් තුරුම්පුවක් ලෙස හේරත් හැඳින්විය හැකිය.

උපනායකයින් දෙදෙනා ලෙස ඉමේෂ් දිල්හාන් හා දුෂාන්ත ධම්මික යන ක්‍රීඩකයින් කටයුතු කරන අතර හිටපු කණ්ඩායම් නායක උවින් ආරියරත්න ද ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩා කිරීම කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙන්නකි.

මීට අමතරව කණ්ඩායමේ කෝඩුකාර ක්‍රීඩකයෙකු වන පූර්ණ වික්‍රමසිංහ මෙවර (2018) වෙළඳසේවා සත් සාමාජික තරගාවලියේ දී “ලංකා දුම්කොළ සමාගම”  කණ්ඩායම වෙනුවෙන් තම දස්කම් ඉදිරිපත් කළ ක්‍රීඩකයෙකු වීම ද විශේෂත්වයකි.

කණ්ඩායමේ නායක කසුන් හේරත් ThePapare.com සමඟින් අදහස් දක්වමින් පවසා සිටියේ ගියවර මග හැරුණු බලාපොරොත්තුව වෙත මේ වසරේ කෙසේ හෝ ළඟා වීම තම අපේක්ෂාව බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ කණ්ඩායම් නායක,

“අපි මේ පාර වෙනස්ම මුහුණුවරකින් තරගාවලියට එන්න තමා බලාපොරොත්තු වෙන්නේ, ඒත් එක්කම ගිය අවුරුද්දේ අපිට හම්බුනේ 4 වන ස්ථානය, මේ අවුරුද්දේ හොඳ කණ්ඩායමක් ඉන්නවා, කණ්ඩායමේ ලංකාවේ විශිෂ්ට රග්බි ඉතිහාසයක් ඇති පාසල් ක්‍රීඩකයන් කිහිපයක්ම නියෝජනය කරනවා, ලෝක ශූරතාවට ගිය උවින් සහ කෝසල ඉන්න එකත් අපිට වාසියක්”

“ඒ වගේම ලංකාවේ දක්ෂ සහ ප්‍රවීණ පුහුණුකරුවෙක් වන රොනී ඊබ්‍රහිම් අපේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරනවා, එතුමාගේ පුහුණුවීම් එක්ක අපි හොඳ තැනක ඉන්නවා, කණ්ඩායමේ ඉදිරිපෙළ සහ පසුපෙළ සමබර මට්ටමක තියෙනවා. ඒ අනුව ඕනෑම කණ්ඩායමකට අභියෝග කරලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරලා ශූරතාවය ගේන්න අපි හැමෝම බලාපොරොත්තු වෙනවා”

සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව විද්‍යාලයීය ..

කණ්ඩායමේ පුහුණුකරුවන් දෙස අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකා රග්බි පිටිය තුල ප්‍රවීණ සහ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රොනී ඊබ්‍රහිම් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර අමන්ත පෙරේරා සහය පුහුණුකරු ධුරයේ කටයුතු කරයි.

ප්‍රධාන පුහුණුකරු රොනී ඊබ්‍රහිම් මහතා

සංචිතය මෙසේයි.

ඉසුරු ගුණතිලක, දේවින්ද අබේසිංහ, ඉමේෂ් දිල්හාන්, පසිඳු සිල්වා, එස්. කේ. කසුන්, අශාන් ලක්ෂිත, ලක්ෂාන් චාමර, දුෂාන්ත ධම්මික, එම්. එම්. ආර්. සී. මධුරසිංහ, ඩබ්. සී. ප්‍රනාන්දු, එම්, කනිෂ්ක රමේෂ් හේරත්, අශාන් ඉෂාර වීරතිසුන්, නිපුන් කෞශික, ඩී. එන්. ගිම්හාන්, හිරාන් අබේවික්‍රම, උවීන් ආරියරත්න, එච්. එම්. කේ. ඩී. හේරත් (නායක), ඩබ්. පී. වික්‍රමසිංහ, ආර්. එල්. ෆොන්සේකා, අයි. ආර්. පෙරේරා, ටී. උදීශන, දිනේන්ද්‍ර ධනපාල, කෝසල පහළගම, ගයාන් කුමාර, ශහෙන් සිල්වා, කසුන් රාමනායක, හිරාන් අකලංක, චමත් සඳරු ගුණරත්න, දමිඳු දර්ශන, හෂාන් ගුණවර්ධන, කයිෆ් මහමූර්, දිනුක සෙනෙවිරත්න, ඉසුරු කවිශ, නිතින් මධුෂාන්, කල්හාර අබේසිංහ, හුසේන් ෂකිබ්.

මෙවර තරගාවලියේ දී තම දක්ෂතා අතරට පැමිණෙමින් විශ්ව විද්‍යාලයීය ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට හැකි වේවා’යි ThePapare.com සුබ පතන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<