ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.
මෙම තරගය සඳහා Bloomfield C & AC කණ්ඩායම සහ BRC කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි BRC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 340ක් ලබා සිටියා.
BRC
විශ්ව සුපුන් (නායක), ඉසුරු ප්‍රනාන්දු, තරුශ්ක ආශෙල්, කුසල් විජේතුංග, යසිරු රොද්‍රිගෝ, රන්මිත් සෙනරත් (කඩුලු රකින්නා), ලිත්ම පෙරේරා, විග්නේශ්වරන් ආකාශ්, දුමිඳු සෙව්මිණ, ලිනාල් සුබසිංහ සහ සිතුක ගුණවර්ධන.
Bloomfield C & AC
තරින්ද ගුරුගේ (නායක), දුලාජ් සමුදිත, අසිත වන්නිනායක, මිනෙත් ප්‍රේමරත්න, හසිත අමරසිංහ, හංසමාන ද සිල්වා, කවීෂ පියුමාල්, නිසල අබේරත්න, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා), පැතුම් රත්නායක සහ දිනෙත් පැහැසර.
- මිනෙත් පිට පිට 2 වැනි ශතකයත් වාර්තා කරයි
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
කාසියේ වාසිය දිනා ගත් Bloomfield C & AC කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC ඉනිමට වාසිදායක ආරම්භයක් ලබා ගැනීමට ඉසුරු ප්‍රනාන්දු සහ තරුශ්ක ආශෙල් සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 104ක් පමණක් වැය කරමින්. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ඉසුරු ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
තරුක්ශ ආශෙල් ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉනිම තුළ කුසල් විජේතුංග හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 49ක සබඳතාවක් ද සහ යසිරු රොද්‍රිගෝ හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 162ක දී ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී කුසල් විජේතුංග පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට යසිරු රොද්‍රිගෝ පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියා.
ඒ වෙද්දී ඔහුත් සමඟින් නොදැවී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි ලිත්ම පෙරේරා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.
ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 104ක දී නොදැවුණ ලකුණු 63ක් එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂ පියුමාල් ලකුණු 61කට කඩුලු 2ක් ද සහ තරින්ද ගුරුගේ ලකුණු 109කට කඩුලු 2ක් ද බැගින් දවා ගත් අතර ඊට අමතර ව නිසල අබේරත්න ද කඩුල්ලක් දවා ගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- BRC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 340 (87.0)ඉසුරු ප්‍රනාන්දු 39, තරුශ්ක ආශෙල් 144, කුසල් විජේතුංග 25, යසිරු රොද්‍රිගෝ නොදැවී 71, ලිත්ම පෙරේරා නොදැවී 32, තරින්ද ගුරුගේ 2/109, කවීෂ පියුමාල් 2/61
මෙම තරගය හෙට (6) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















