ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් කිහිපයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

16649

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ අවම ලෙස එක් වෙනස්කමක් හෝ සිදුවීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ ළහිරු මධුශංක සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරා ආබාධවලට ලක්ව තිබෙන නිසයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අතරතුර කුසල්ගේ පාදයක මස්පිඩු ඇදීමක් සිදුව තිබෙන අතර එම තරගයේ දී ම ළහිරුගේ උරහිස ආශ්‍රිත collarbone හි යම් අස්ථි බිඳීමක් සිදුව තිබෙනවා.

කෙසේ නමුත් තරගයට පසු දිනයේ දී කුසල් හට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර තිබෙන අතර එයට අනුව එහි විශාල ආබාධයක් නොමැති නිසාවෙන් එළඹෙන ලෝක කුසලානයට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලියට පෙර ඔහුගේ එම ආබාධය සුවකර ගැනීමට හැකියාවක් තිබෙන බව ද වාර්තා වෙනවා.

31 හැවිරිදි පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඔහු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වුනේ නිමා වූ එංගලන්ත සංචාරයට පසුවයි. එම තරගාවලිය අවසානයේ දී ඔහුගේ උරහිස ආශ්‍රිත ආබාධයක් මතුවුණු අතර ඉන් සුවය ලබා සිටිය දී ඔහු COVID-19 වයිරසය සඳහා ගොදුරු වුනා.

කුසල් දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වුනු විස්සයි විස්ස තරග දෙකේ දී ම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පිළිවෙළින් ලකුණු 30ක් සහ ලකුණු 39ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දින 10-12ක කාලයක් සඳහා ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව සැප්තැම්බර් මස අවසානයේ දී එළඹෙන ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අවසන් පුහුණු සැසිය සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතව සිටින අතර ඔවුන් එළඹෙන ඔක්තෝබර් 7 සහ 9 ඕමානය සමඟ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග දෙකක් සඳහා සහභාගී වීමට නියමිතයි.

ඉන්පසුව ශ්‍රී ලංකාව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර තවත් පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරිමට නියමිතයි. එම තරග ඔක්තෝබර් 12 සහ 14 පැවැත්වෙනවා.

වසර දෙකකට පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ළහිරුගේ ආබාධය සුව වීම සඳහා සති 6-8ත් අතර කාලයක් ගත වන නිසා ඔහුට නිසැක වශයෙන්ම එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය මඟ හැරී යනවා. ඒ අනුව ඔක්තෝබර් 10 වැනිදාට පෙර නිසැක වශයෙන්ම ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කමක් වනු නිසැකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<