“කියන තරම්ම දකුණු අප්‍රිකාව නරක නැහැ” – Tabraiz Shamsi

5586

ප්‍රේක්ෂකයින් හා විචාරකයින් පවසන තරම්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුබැස නොමැති බව දකුණු අප්‍රිකා දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi පවසා සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය ද දකුණු අප්‍රිකාව ජය ගන්නට සමත් වූ අතර ඒ ඔවුන් අඛණ්ඩව ජය ගත් තෙවැනි විස්සයි විස්ස තරගාවලියයි.

දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත හැකි ප්‍රබල කණ්ඩායමක් ලෙස විචාරකයින් අනුමාන කරන්නේ නැති නමුත් ඔවුන් කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන බව Tabraiz Shamsi පවසා සිටිනවා.

“අපි අඛණ්ඩව තරගාවලි ජයගෙන ඉන්නේ. මම හිතන්නේ නෑ මේ කණ්ඩායම අසාර්ථක කණ්ඩායමක් කියලා. මම හිතන්නේ අපි ඉතා හොඳයි කියලා”, Shamsi පවසා තිබුණා. “මිනිස්සු කතා කරනවා අතීතයේ තිබුණු කණ්ඩායම් ගැන, මේ කණ්ඩායමත් ඒ කණ්ඩායම් වලට බොහෝ සමානයි. අපි ජාත්‍යන්තර තරග ගොඩක් ක්‍රීඩා කරලා නැති නිසා ජනප්‍රිය ක්‍රීඩකයින් නම් නැහැ. ඒකෙන් කියැවෙන්නේ නැහැ ක්‍රීඩකයින් හොඳ නැහැ කියලා.” 

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියේ දී Bjorn Fortuin තමාට ලැබුණු අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගත්තා. ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කළ Keshav Maharaj සීමිත පන්දුවාර ආකෘතියේ හොඳින් පන්දු යැවූ අතර Temba Bavumaගෙන් හිස්වුණු නායකත්වය ද ඔහු භාරගෙන ඉටු කළා. 

දඟපන්දු යවන්නන්ට අසාර්ථක ක්‍රීඩකයෙක් වුණු Aiden Markram ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමිනුයි. ශ්‍රී ලංකාව සමඟ දෙවැනි විස්සයි විස්ස තරගයේ දී Markram පන්දුවාර හතරම යොමු කළේ සිය දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 21ට කඩුලු 3ක් රැස් කරමිනුයි.

“අපි දඟපන්දු යවන්නන්ගෙන් පන්දුවාර ගොඩක් ක්‍රියාත්මක කරනවා. ඒ අපිට හොඳ පන්දු යවන්නන් ඉන්න නිසා. මම හිතන්නේ මීට කලින් අපිට දඟපන්දු යවන්නන්ගේ අඩුවක් තිබුණා. නමුත් දැන් අපිට පිටියේ තත්වයන් අනුව කණ්ඩායමක් තෝරන්න පුළුවන්. ඒ සඳහා අපිට ක්‍රීඩකයින් ඉන්නවා.”

“මම තේරුම් අරන් ඉන්නේ මගේ රාජකාරිය විචලනය වෙනවා කියලා. ඉස්සර නම් කඩුලු ලබා නොගත්තම මගේ බලාපොරොත්තු කඩවෙනවා. නමුත් දැන් මම තේරුම් අරන් ඉන්නේ හැමතිස්සෙම කඩුලු ලබාගන්න ඕනේ නෑ කියලා කණ්ඩායමට සහයෝගය දෙන්න. අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයින් මට කඩුලු නොදී ක්‍රීඩා කරනවා නම් මට පුළුවන් ලකුණු අඩුවෙන් දෙමින් පන්දුවාර යවන්න.”

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්න වන Shamsi ශ්‍රී ලංකාව සමඟ දෙවැනි තරගයේ දී කඩුලු තුනක් දවා ගන්නට සමත් වුනා. දසුන් ශානක Shamsiට දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර එම හයේ පහරට පසු පන්දුවේ දී ම ශානකව දවා ගන්නට Shamsi සමත් වීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව සමඟ තවත් එක් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.  ඉන්පසුව ඔවුන් නැවත දකුණු අප්‍රිකාවේ දී දේශීය විස්සයි විස්ස තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<