නායකත්වය du Plessisට දුන්නේ ඇයි? RCB පැහැදිලි කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2412

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore (RCB) කණ්ඩායමේ නව නායකයා ලෙස Faf du Plessis නම් කෙරුණා. පසුගිය වසරේ තරගාවලියෙන් අනතුරුව Virat Kohli වසර ගණනාවක නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසු පසුගිය මාස කිහිපය තුළ වඩාත්ම කතා බහට ලක්වූ මාතෘකාව වූයේ Kohliගේ අනුප්‍රාප්තිකයා පිළිබඳවයි.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා (12) RCB විසින් අවසානයේ Kohliගේ අනුප්‍රාප්තිකයා ලෙස Faf du Plessis නායකත්වය සඳහා තෝරා ගනු ලැබුවා. Royal Challengers Bangalore විසින් du Plessis මිල දී ගනු ලැබුවේ පසුගිය මාසයේ පැවති වෙන්දේසියේ දීයි.

නායකත්වය සඳහා Dinesh Karthik, Glenn Maxwell වැනි ක්‍රීඩකයන් සිටිය දී නව නායකයා ලෙස du Plessis තෝරා ගැනීමේ තර්කය Royal Challengers Bangalore ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ Mike Hesson පසුගිය දා හෙළි කළා.

පසුගිය මාසයේ පැවති වෙන්දේසියේ දී Royal Challengers Bangalore විසින් ඉන්දීය රුපියල් කෝටි 5.5ක මුදලකට du Plessis මිල දී ගැනීමේ මූලික අරමුණ වූයේ ද නායකත්වය සඳහා සුදුස්සෙකු එක්කර ගැනීම බව ඔහු පවසනවා.

RCB විසින් වෙන්දේසියට පෙර රඳවා ගත් Glenn Maxwell සහ වෙන්දේසියේ දී තෝරා ගත් ප්‍රවීණ ඉන්දීය කඩුලු රකින පිතිකරු Dinesh Karthik හමුවේ නායකත්ව භූමිකාව සඳහා ප්‍රබලතම අපේක්ෂකයා du Plessis බවට තමන් සහ කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව Mike Hesson පවසා සිටියා.

“Faf du Plessis මිල දී ගද්දී අපේ බලාපොරොත්තුවක් තිබුණා නායකත්වය ගැන. පැහැදිලිවම වෙන්දේසියට කලින් අපිට Maxwell සහ Virat හිටියා. ඔවුන් දෙදෙනාගේ අත්දැකීම් එක්ක විශාල නායකත්ව අත්දැකීමක් අපි රඳවා ගෙන හිටියා. අපේ නායකත්ව කණ්ඩායම තුළ අපට හැඟුණා ලොකු අවස්ථාවක් තියනවා කියලා. ඒ වගේම Harshal Patelවත් මිල දී ගන්න අපිට ඕනේ වුනා. අපට ආපසු මිල දී ගැනීමට අවශ්‍ය කවුද කියන එක බලලා අපේ නායකත්ව කණ්ඩායම වර්ධනය කිරීම සහ ඒත් එක්ක ඉදිරියට යන එක තමයි අපේ සැලසුම වුනේ.”

“වෙන්දේසියේ දී අපිට මිල දී ගන්න ඕනේ අය එක්ක බැලුවම Faf එම ලැයිස්තුවේ ඉහළින්ම සිටියා. ඔහු කෙතරම් හොඳ නායකයෙක් ද කියලා මම දන්නවා. ඒ වගේම ඔහුගේ උපායශීලී නායකත්වය ගැන අපි දැනගෙන හිටියා. අන්තිමේ දී අපිට Virat වගේ පළපුරුදු කෙනෙක් ඉන්නවා. ඒ වගේම Dinesh Karthik, Glenn Maxwell වගේ කණ්ඩායමට අලුත් ඒත් ප්‍රයෝජනවත් අය ඉන්නවා.”

IPL නීති රීති අනුව කණ්ඩායමට ක්‍රීඩා කළ හැක්කේ විදේශීය ක්‍රීඩකයින් හතර දෙනෙකුට පමණයි. මේ නිසා ක්‍රීඩා කරන අවසන් 11 දෙනා පෙළගැස්වීමේ දී විදෙස් නායකයෙකු යොදා නොගෙන දේශීය නායකයෙකු යොදාගැනීමට බොහෝ කණ්ඩායම් උත්සාහ කරනවා. නමුත් Faf du Plessis සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hesson පවසා සිටියේ ඔහු සෑම තරගයක්ම ක්‍රීඩා කිරීමට තරම් දක්ෂ බවයි.

“ඔබ කණ්ඩායමක නායකත්ව භූමිකාව සඳහා වඩාත් සුදුසු ක්‍රීඩකයා කවුරුන්ද කියලා තීරණය කරද්දී ඔහු ඉන්දියානු ක්‍රීඩකයෙක් ද නැතහොත් විදේශීය ක්‍රීඩකයෙක් ද යන්න බලන්නේ නැහැ. නිසැකවම කණ්ඩායමකට ඉන්දියානු ක්‍රීඩකයන් හත් දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් හතර දෙනෙක් ඉන්නවා. ඒක තමයි සරල ගණිතය.

අපි යථාර්ථය කතා කළොත් Faf du Plessis සෑම තරගයක්ම ක්‍රීඩා කිරීමට තරම් දක්ෂ කෙනෙක්. ඒ නිසා එය ප්‍රශ්නයක් වුනේ නැහැ. එබැවින් අපි බැලුවේ කණ්ඩායමේ නායකයා විදිහට සෙසු ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ ලබා ගන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා. ක්‍රීඩකයන් අතර සබඳතා සහ අපට අවශ්‍ය RCB සංස්කෘතිය වර්ධනය කිරීමට උදවු කරන්න පුළුවන් හොඳම කෙනා Faf du Plessis. අපට අවශ්‍ය වන්නේ නායකත්වය සඳහා හොඳම අපේක්ෂකයා විතරයි. ඒ සඳහා ගැලපෙනම පුද්ගලයා Faf du Plessis බවට අපගේ හිතේ කිසිම සැකයක් නැනැ”, Mike Hesson පවසා සිටියා.

2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය මැයි 29 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.