වේගපන්දුවේ කිරුළු පළන් රජු ක්‍රීඩාවෙන් සමුගනියි

646

විස්සයි විස්ස සහ එක්දින තරග රටාව තුල එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග සිය ක්‍රීඩා දිවිය නිමා කිරීමට තීරණය කර තිබෙනවා.

ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ ලීග් තරගාවලි රැසකට සිය දායකත්වය සැපයූ ලසිත් මාලිංග සිය විස්සයි විස්ස ක්‍රීඩා දිවිය තුල තරග 295ක් ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390ක්.

2011 වසරේ දී ටෙස්ට් ක්‍රිකට්වලට සමු දුන් මාලිංග ඉන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා සිය දායකත්වය ලබා දුන්නා. 2019 වසරේ දී එක්දින තරගවලින් ද ඔහු සමුගත්තා. ඉන් අනතුරුව විස්සයි විස්ස තරග රටාව තුල සිය ආධිපත්‍යය පතුරන්නට සමත් වූ මාලිංග මෙම වසරේ ජනවාරි මාසයේ දී විස්සයි විස්ස ලීග් තරගාවලිවලින් සමුගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් වෙමින්.

ලසිත් මාලිංග අද (14) සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් සියලු ලීග් සහ ජාත්‍යන්තර තරගවලින් සිය සමුගැනීම නිවේදනය කර තිබුණා.

ලසිත් මාලිංග සිය ක්‍රිකට් දිවිය තුළ දැක්වූ දක්ෂතා අසමසම වන අතර කිසිදා නොබිඳිය හැකි වාර්තා රැසක් ද ඔහු සතුවනවා. සිය ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට ලසිත් මාලිංග සිය පන්දු යැවීමේ දී 16.60ක පහර දීමේ වේගයක්, 7.42ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 20.79ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වුනා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී තරග 84ක් තුළ කඩුලු 107ක් දවා ගනිමින් විස්සයි විස්ස තරගවල දී කඩුලු 100 සීමාව පසුකළ පළමු පන්දු යවන්නා වීමේ භාග්‍ය ද ලසිත් මාලිංග සතු වුනා. විස්සයි විස්ස තරගවල දී වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහු තවමත් පෙරමුණේ පසුවනවා.

සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ලසිත් මාලිංග සිය Facebook ගිණුමේ විශේෂ වීඩියෝවක් ද පළකර තිබුණා.

අද මට විශේෂ දවසක්. මගේ විස්සයි විස්ස ක්‍රීඩා දිවිය තුළ මට උදව් කළ සියලු දෙනාටම ස්තූති කරන්න අවශ්‍යයි. අද මම මගේ විස්සයි විස්ස සපත්තු වලට 100%ක විවේකයක් දෙන්න තීරණය කළා”, ලසිත් මාලිංග පවසා සිටියා.

මම ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, Mumbai Indians කණ්ඩායමට Melbourne Stars කණ්ඩායමට, Kent ක්‍රිකට් සමාජයට, Rangpur Riders කණ්ඩායමට, Guyana Warriors කණ්ඩායමට, Maratha Warriors කණ්ඩායමට සහ Montreal Tigers කණ්ඩායමට. මට දැන් ඕනේ මගේ අත්දැකීම් ලීග් තරගාවලි සහ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න කැමැත්තෙන් ඉන්න තරුණ ක්‍රීඩකයන් එක්ක බෙදාගන්න.”

මගේ සපත්තු විවේක ගද්දී ක්‍රීඩාවට මගේ තියන ආදරය කවදාවත් විවේක ගන්නේ නැහැ. අපේ තරුණ ක්‍රීඩකයන් ඉතිහාසය අලුත් කරන ආකාරය මම ආසාවෙන් බලාගෙන ඉන්නවා”

ලසිත් මාලිංග එතෙක් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා බව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඔහු නියෝජනය කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි, Big Bash තරගාවලි, Caribbean Premier League තරගාවලි මෙන්ම සෙසු තරගාවලි තුල ද කැපීපෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් වුනා. Mumbai Indians කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ ශූරතාවය දිනා ගත් අවස්ථා 5න් අවස්ථා 4ක දී ම එහි කැපීපෙනෙන කාර්‍යභාරයක් ඉටු කිරීමට ලසිත් මාලිංග සමත් වුනා.

1983 වසරේ ගාල්ලේ දී උපත ලබන සෙපරමාදු ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙන්නේ 2004 වසරේ දීයි. තමන්ටම ආවේණික පන්දු යැවීමේ රටාවකින් ලෝකයම සිය වසඟයට ගැනීමට සමත් වන ලසිත් මාලිංග වඩාත් කතාබහට ලක්වන්නේ 2007 වසරේ ලෝක කුසලාන තරගාවලිය අතරතුර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින්.

ඉන් අනතුරුව 2011 වසරේ දී කෙන්යාවට එරෙහිව, එම වසරේ දී ම ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින කඩුලු ත්‍රිත්ව වාර්තා කිරීමට ඔහු සමත් වුනා. 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන මාලිංග 2019 වසරේ දී නවසීලන්තයට එරෙහිව පිට පිට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුනා.

2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ නායකත්වය හෙබවූ ලසිත් මාලිංග ඉන්දීය කණ්ඩායමට එරෙහිව එල්ල කළ අවසන් පන්දුවාර කීපය මෙරට ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට කිසිදා අමතක නොවන මතකයක් වී අවසන්.

අවසන් පන්දුව දක්වා සටන් කරන කැරලි කොණ්ඩයක් සහිත අංක 99 මේ රත්ගම දඩබ්බරයා නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දක්නට නොලැබේවි. නමුත් ලසිත් මාලිංග නාමය සහ ඔහුගේ දස්කම් මෙරට ක්‍රීඩාලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇති.

ලසිත් මාලිංග, ඉතින් අවසරයි සමුගන්න!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<