Home Sinhala නොකඩවා දෙවැනි වරටත් දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට 3-0ක ප්‍රහාරයක්

නොකඩවා දෙවැනි වරටත් දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට 3-0ක ප්‍රහාරයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

389

සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක දැවැන්ත පරාජයක් උරුම කරදෙමිනි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබා ගත් හයවැනි 3-0 තරගාවලි පරාජය වුනු අතර ශ්‍රී ලංකාවේ දී ලබා ගත් පළමු 3-0ක විස්සයි විස්ස තරගාවලි පරාජය මෙයයි. තවද මේ තරගාවලිය ද සමඟ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම 3-0ක් ලෙස පරාජයට පත්ව තිබෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත්, ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි. දකුණු අප්‍රිකානුවන් එම ඉලක්කය කිසිඳු කඩුල්ලක් නොදැවී ඉතාමත් පහසුවෙන් ජය ගත්තා.

ශ්‍රී ලංකාව වෙනස්කම් තුනක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනු අතර අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ ලහිරු මධුසංක කණ්ඩායමට කැඳවා තිබුණු අතර දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක සහ ප්‍රවීන් ජයවික්‍රම අද තරගයේ දී විවේක ගන්වා තිබුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයට අවතීර්ණ වන විටත් මේ තරගාවලිය ජයග්‍රහණය කර තිබූ නිසා ඔවුන් Anrich Nortje වෙනුවට Wiaan Mulder අද තරගයට කණ්ඩායමට කැඳවා තිබුණා. අද තරගය සඳහා භාවිතා කරන තණතීරුව මේ තරගාවලියේ එකඳු තරගයක් සඳහා හෝ භාවිතා නොකළ අලුත්ම තණතීරුවක් වුනා.

තෙවැනි විස්ස තරගයට සහභාගී වුනු කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා කණ්ඩායම – Kusal Perera, Avishka Fernando, Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Kamindu Mendis, Dasun Shanaka (capt), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Lahiru Madhushanka, Maheesh Theekshana
  • දකුණු අප්‍රිකානු කාණ්ඩයම – Reeza Hendricks, Quinton de Kock (wk), Aiden Markram, Rassie van der Dussen, Heinrich Klaasen, Dwaine Pretorius, Keshav Maharaj (capt), Wiaan Mulder, Kagiso Rabada, Bjorn Fortuin, Tabraiz Shamsi.

නොකඩවා සිව්වැනි තරගයේ දී ද ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වෙනස් කරමින් අවිශ්ක සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. ඔවුන් දෙදෙනා Fortuinගේ පළමු පන්දුවාරයට ලකුණු 11ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

නමුත් Rabada යොමු කළ පළමු පන්දුවාරයේ දී ම අවිශ්ක අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ සුපුරුදු කඩුලු බිඳ වැටීම දැකගන්නට ලැබුණා.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදු කරමින් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ උපනායක ධනංජය අද අංක 3 ස්ථානයේ පිතිකරුවා ලෙස පිටියට පැමිණි නමුත් ඔහු පෙර තරගයේ දී දැවී ගිය ආකාරයටම මේ තරගයේ දීත් Stumps කිරීමකට හසුව දැවී යාම ඉතාමත් කණගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වුනු ධනංජය, භානුක, වනිඳු සහ ලහිරු (දුවද්දී දැවී ගියා) යන එකඳු පිතිකරුවෙක් හට හෝ ලකුණු 5කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට නොහැකි වුනු අතර සැලකිය යුතු ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන්නේ කුසල්, චාමික සහ අවිශ්ක පමණක් වීම ද ශ්‍රී ලංකා විස්සයි විස්ස පිතිකරණයේ කඩා වැටීම පෙන්නුම් කරන තවත් සාධකයක් බවට පත් වුනා.

පළමු Powerplay අවස්ථාව අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 47ක් ලබා ගත්තේ නිලකුණු පන්දු 15ක් වැය කරමිනි. කමිඳු සහ කුසල් එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක දී ගොඩනැංවූ ලකුණු 34 සබඳතාවය හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවන් දෙදෙනෙකුට ඉන් එහාට ගිය සබඳතාවයක් ගොඩනැංවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

නායක ශානක ඉනිමේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 26ක දී ලබා ගත්තේ ලකුණු 18ක් පමණක් වන අතර Mulder යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ ශානක දැවී ගියා.

චාමික ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිමට යම් සැනසිලිදායක අවසානයක් ලබා දෙමින් පන්දු 19ක දී නොදැවී ලකුණු 24*ක් ලබා ගත්තේ 6 පහර දෙකක් එල්ල කරමින් වන අතර ඔහුට හැරෙන්නට වෙනත් එකඳු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් හට 6 පහරක් එල්ල කිරීමට අද අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත නැවත වතාවක් සාමාන්‍ය මට්ටමට වඩා එහා ගිය නිලකුණු පන්දු ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම තවත් කණගාටුවට කරුණක් වුනු අතර ඔවුන් මේ තරගයේ දීත් සුපුරුදු ලෙසම නිලකුණු පන්දු 49ක් දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නා.

එසේම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කඩුලු අතර දිවීම සහ දඟපන්දු යවන්නන් හමුවේ ස්වීප්, රිවර්ස්වීප් වැනි පහරවල් එල්ල කිරීම ඉතාමත් අල්ප මට්ටමක තිබුණු අතර ඉනිම පුරාවට දැකගැනීමට හැකියාව ලැබුණු එකම ඵලදායී රිවර්ස්වීප් පහරෙන් ලකුණු 4ක් ලබා ගැනීමට ශානක සමත් වුනා.

පන්දු යැවීමේ දී Fortuin සහ Rabada අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගිය අතර Markram, Maharaj සහ Mulder අතරේ ඒක කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉලක්කය හඹා යාමට පැමිණි de Kock සහ Hendricks පන්දු 88ක් තුල ඔවුන්ගේ අන්තයන් ආරක්ෂා කරගනිමින් තරගයේ අවසානය දක්වා පන්දුවට පහර දුන්නේ, ලකුණු 121*ක නොදැවුණු සුපිරි ආරම්භක සබඳතාවයක් ගොඩනංවමිනි. මේ සබඳතාවය දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැංවූ හොඳම සබඳතාවය ද වුනා.

4 පහර 7ක් එල්ල කරමින් පන්දු 46ක දී නොදැවී ලකුණු 59*ක් ලබා ගත් de Kock සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 11 වැනි අර්ධ ශතකය වාර්තා කරගන්නා විට, අනෙක් අන්තයෙන් ඔහුට සවියක් වුනු Hendricks සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් තුන්වැනි අර්ධ ශතකය ලබා ගත්තා. පන්දු 42ක දී වාර්තා වුනු Hendricksගේ ලකුණු 56* ඉනිම සඳහා 4 පහර 5ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන්නේ, ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි 3ම (අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව) 3-0ක් ලෙස ජයගෙන වීම සුවිශේෂී වෙනවා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා – Quinton de Kock


Result


Sri Lanka
120/8 (20)

South Africa
121/0 (14.4)

Batsmen R B 4s 6s SR
Kusal Perera lbw b Keshav Maharaj 39 32 3 0 121.88
Avishka Fernando c & b Kagiso Rabada 12 8 2 0 150.00
Dhananjaya de Silva st Quinton de Kock b Bjorn Fortuin 1 3 0 0 33.33
Bhanuka Rajapaksa b Kagiso Rabada 5 6 1 0 83.33
Kamindu Mendis c Keshav Maharaj b Aiden Markram 10 16 0 0 62.50
Dasun Shanaka c Keshav Maharaj b Wiaan Mulder 18 26 2 0 69.23
Wanindu Hasaranga c Keshav Maharaj b Bjorn Fortuin 4 4 0 0 100.00
Lahiru Madushanka run out () 1 3 0 0 33.33
Chamika Karunaratne not out 24 19 0 0 126.32
Dushmantha Chameera not out 2 2 0 0 100.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 120/8 (20 Overs, RR: 6)
Fall of Wickets 1-18 (1.5) Avishka Fernando, 2-19 (2.2) Dhananjaya de Silva, 3-28 (3.6) Bhanuka Rajapaksa, 4-62 (9.3) Kamindu Mendis, 5-80 (12.6) Kusal Perera, 6-85 (13.5) Wanindu Hasaranga, 7-86 (14.2) Lahiru Madushanka, 8-101 (18.2) Dasun Shanaka,

Bowling O M R W Econ
Bjorn Fortuin 4 0 21 2 5.25
Kagiso Rabada 3 0 23 2 7.67
Dwaine Pretorius 2 0 19 0 9.50
Tabraiz Shamsi 4 0 27 0 6.75
Aiden Markram 2 0 4 1 2.00
Keshav Maharaj 4 1 14 1 3.50
Wiaan Mulder 1 0 11 1 11.00


Batsmen R B 4s 6s SR
Quinton de Kock not out 59 46 7 0 128.26
Reeza Hendricks not out 56 42 5 1 133.33


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 121/0 (14.4 Overs, RR: 8.25)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 28 0 7.00
Wanindu Hasaranga 4 0 35 0 8.75
Kamindu Mendis 3 0 22 0 7.33
Dushmantha Chameera 1 0 9 0 9.00
Chamika Karunaratne 1.4 0 13 0 9.29
Dasun Shanaka 1 0 14 0 14.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<