වාර්තාගත ජයක් ලැබූ ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටන ආසන්නයටම

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

398

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය – පාකිස්තාන සුපිරි 4 වටයේ තරගය අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එම තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයක් ලබා ගත් ඉන්දියාව සුපිරි 4 වටයේ පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයගෙන ඉදිරියටම යන්නේ දැවැන්ත දල ලකුණු ලබා ගැනීමේ වේගයක් (NRR) ද රඳවා ගෙනයි.

>>Photos – India vs Pakistan – Super Four | Asia Cup 2023<<

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා. පාකිස්තානය කිසිදු වෙනසක් නොමැතිව මේ තරගයට අවතීර්ණ වුවත්, ඉන්දියාව වෙනස්කම් දෙකක් සිදු කරමින් Shreyas Iyerගේ ආබාධය නිසා KL Rahul කණ්ඩායමට කැඳවා තිබුණු අතර Jasprit Bumrah කණ්ඩායමට පැමිණ තිබුණේ Mohammed Shami වෙනුවටයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – Rohit Sharma, Shubman Gill, Virat Kohli, KL Rahul, Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj.

පාකිස්තානය – Babar Azam (c), Shadab Khan (vc), Fakhar Zaman, Imam-ul-Haq, Salman Ali Agha, Iftikhar Ahmed, Mohammad Rizwan (wk), Faheem Ashraf, Naseem Shah, Shaheen Shah Afridi, Haris Rauf

ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 356ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර එය වාර්තාගත ලකුණක් වුනා. ආසියානු කුසලාන (එක්දින) ඉන්දු – පාකිස්තාන තරගයක් තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සහ ඉන්දු – පාකිස්තාන එක්දින තරග ඉතිහාසය තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සම කිරීමට ඉන්දියාව සමත් වුනා.

ඒ සඳහා මූලික අඩිතාලම දැමූ Sharma සහ Gill පන්දු 100ක් තුල ලකුණු 121ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූවා. පාකිස්තාන වේගපන්දු යවන්නන්ගේ දුර්වල පන්දු තෝරා බේරාගෙන ඉතාමත් හොඳින් ඔවුන් දෙදෙනා පහර දුන් අතර ලබා දුන් ආසන්න අවස්ථාවන් දෙකක් පාකිස්තානයට උඩපන්දු අවස්ථා ලෙස රැකගන්නට නොහැකි වීම ඔවුන්ට විශාල අවාසියක් වුනා.

පළමු Powerplay අවස්ථාව තුල කිසිදු කඩුල්ලක් ලබා නොදී ලකුණු 61ක් ලබා ගත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලයම අර්ධ ශතක ලබා ගත් අතර එහි දී නායක Sharma සිය එක්දින දිවියේ 50 වැනි අර්ධ ශතකය ලබා ගන්නා විට, Gill සිය එක්දින දිවියේ 8 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 56කට සහ ලකුණු 58කට දවා ගන්නට Shadab Khan සහ Shaheen Shah Afridi සමත් වුනා.

අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Kohli සහ Rahul සෙමින් සීරුවේ සිය සබඳතාවය ගොඩනංවමින් සිටිය දී 10 වැනිදා (තරගයේ පළමු දිනයේ) සවස 4.52ට වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුනා.

ඉන් අනතුරුව වෙන්කර තිබුණු අතිරේක දිනයට තරගය රැගෙන ගිය අතර එහි දී ද සවස 3ට තරගය ආරම්භ කිරීමට නොහැකි වුනේ, පැවති අයහපත් කාලගුණ තත්වය නිසයි. අනතුරුව සවස 4.40ට තරගය නැවතත් ආරම්භ වුනු අතර ඒ වන විට ඉන්දියාව පන්දුවාර 24කුත් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබාගෙන සිටියා.

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Haris Rauf ආබාධයක් නිසාවෙන් අතිරේක දිනය තුල දී පන්දු යැවීම සිදු කළේ නැහැ. එය පාකිස්තානයට විශාල පාඩුවක් වුනු අතර ඒ වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම ඉටු කළ Iftikhar Ahmed ක්‍රියාත්මක කළ පන්දුවාර 5කුත් පන්දු 4ට ලකුණු 54ක් ලබා ගන්නට Kohli සහ Rahul සමත් වුනා.

Kohli සහ Rahul සෙමින් සීරුවේ ගොඩනැංවූ සිය සබඳතාවය අර්ධ ශතක ලබා ගැනීමෙන් අනතුරුව වේගවත් වූ අතර අවසානයේ දී ඔවුන් දෙදෙනා ආසියානු කුසලානයක ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනක් ගොඩනැංවූ ඉහළම සබඳතාවය ගොඩනංවමින් පන්දු 193ක් තුල ලකුණු 233*ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවනු ලැබුවා.

සිය එක්දින දිවියේ 47 වැනි ශතකය ලබා ගත් Kohli තවත් දැවැන්ත ක්‍රිකට් වාර්තාවක් අලුත් කරමින් එක්දින ලකුණු 13,000 සීමාව වේගවත්වම පසුකළ ක්‍රීඩකයා බවට පත්වුනා. 11 සිට 40 වැනි පන්දුවාරය දක්වා කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 190ක් (දල ලකුණු ලබා ගැනීමේ වේගය 6කට වැඩියෙන්) ලබා ගත් ඉන්දීය කණ්ඩායම අවසන් පන්දුවාර 10 තුල කිසිවෙක් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තේ එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 10.50ක ධනාත්මක ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

කඩුලු 8ක් අතැතිව තිබීම නිසා Kohli සහ Rahul ඉතාමත් ධනාත්මක පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් අවසන් පන්දුවාර 10 තුල එම ලකුණු ප්‍රමාණය ඉන්දීය ලකුණු සටහනට එක් කළා.

Kohli ක්‍රීඩා කළ මේ ඉනිම ද ඇතුලත්ව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අවසන් වරට ක්‍රීඩා කර තිබෙන ඉනිම් 4 තුල දී ම ශතක ලබාගෙන දස්කම් දක්වා තිබෙන අතර ඔහු මේ තරගයේ දී නොදැවී ලකුණු 122*ක් ලබා ගත්තේ පන්දු 94ක් තුලයි.

එම සටන්කාමී ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා. 4 පහර 12ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 106ක දී ලකුණු 111*ක් ලබා ගත් Rahul මාස 5-6ක විරාමයකින් (ආබාධයක් නිසා) අනතුරුව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගයේ දී ම ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණා.

ලකුණු 357ක දැවැන්ත සහ වාර්තාගත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු පාකිස්තානු පිතිකරුවන් හට එකඳු හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වුනා.

පන්දු යැවීමේ දී Kuldeep Yadav ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනු අතර අවසානයේ දී පාකිස්තාන ඉනිම ලකුණු 128කට සීමා කරමින් දැවැන්ත ජයක් ලබා ගන්නට ඉන්දියාව සමත් වුනේ පාකිස්තානයට එරෙහිව ලබා ගත් දැවැන්තම ජය (ලකුණු පරතරය අතින්) වාර්තා කරගෙනයි.

ඉන්දියාව – 356/2 (50): Virat Kohli 122*, KL Rahul 111*, Shubman Gill 58, Rohit Sharma 56

පාකිස්තානය – 128 (32): Fakhar Zaman 27, Kuldeep Yadav 5/25

තරගයේ වීරයා – Virat Kohli (ඉන්දියාව)

තරගාවලියේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<