ඉන්දු – පාකිස්තාන තරගයට පමණක් ඇයි අතිරේක දිනයක්?

Asia Cup 2023

9217

2023 ආසියානු කුසලානයේ ඉදිරි තරග අතරින් ඉන්දු – පාකිස්තාන තරගයට සහ අවසන් මහා තරගයට පමණක් අතිරේක දින වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් ගත් තීරණය මේ වන විට තරමක මතභේදයකට තුඩු දී තිබෙනවා.

මෙවර තරගාවලියේ අදින් (09) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ සිට ඉතිරි සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා එම තරග සැලසුම් කළ අයුරින් ම පැවැත්වීමට හැකි වේ ද යන ගැටලුව මතු වී තිබෙනවා. 

මේ නිසා ඊයේ දිනයේ දී නිල වශයෙන් දැන් වූ පරිදි හෙට (10) පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන එක්දින තරගයට සහ එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගයට පමණක් අතිරේක දින වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මේ අනුව මෙම තරගවල දී වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් (ඉන්දු – පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් පවතින බව දැනට වාර්තා වනවා.) එම තරග නතර වන තැනින් අතිරේක දිනයේ දී තරගය නැවත ආරම්භ වනු ඇති. 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරමක් සමාන Twitter පණිවුඩ ද්විත්වයක් ද ඊයේ (08) සටහන් කර තිබුණා. 

සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ දී ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයට පමණක් අතිරේක දිනයක් වෙන් කිරීම රටවල් හතරේ ම ක්‍රිකට් පාලක මණ්ඩලවල එකඟතාව මත සිදු වූ බවයි ඔවුන්ගේ මෙම Twitter පණිවුඩ වල හරය වන්නේ. 

කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින් මෙම තීරණය පිළිබඳ සිය පුදුමය පළ කර තිබුණා. 

“මම අනෙක් තරගාවලිවල දී මේ වගේ තරගාවලිය අතර මැද නීති වෙනස් කරනවා දැකලා නැහැ. හැම රටක් ම නියෝජනය කරමින් තාක්ෂණික කමිටුවක් ඇතැයි කියලා මම විශ්වාස කරනවා. 

ඔවුන් මොනවා හරි හේතුවක් නිසා මේ තීරණය ගන්න ඇති. ඔව් ඒක එතරම් ම සුදුසු තීරණයක් නෙවෙයි. අපිත් කැමතියි අතිරේක දිනයක් තියෙනවා නම්. ඒ හැරෙන්න ඔවුන් දැනටමත් ඒ තීරණය ගෙන ඇති නිසා මට වැඩි දෙයක් කියන්න නැහැ. 

වරක් ඔබ තීරණයක් ගත් පසු, අපිට වැඩිය කියන්න දෙයක් නැහැ. කලින් අපිව විමසුවා නම් අපිට අදහසක් දෙන්න තිබුණා.  

දැනටමත් තීරණය අරගෙන තියෙන නිසා අපිට කරදර වෙන්න දෙයක් නැහැ.” 

බංග්ලාදේශ පුහුණුකරු විසින් මෙම තීරණය සම්බන්ධයෙන් එවන් අදහසක් දරද්දී, ශ්‍රී ලංකා පුහුණුකරු පැවසුවේ තමන් මෙම තීරණය නිසා පුදුමයට පත් වූ බවයි. 

“මම එය මුලින් ම අහපු වෙලාවේ ටිකක් පුදුම වුනා. නමුත් අපි නෙවෙයි තරගාවලිය සංවිධානය කරන්නේ, ඒ නිසා අපිට ඒ ගැන කළ හැකි දෙයක් නැහැ. 

ගැටලුවක් ලෙස මම දකින එකම දේ තමයි අතිරේක දිනය නිසා වෙනත් කෙනෙක්ට ලකුණු ලැබීමෙන් අපිට හෝ තව කෙනෙකුට ඒකේ බලපෑමක් ඇති වීම.” 

මෙම තීරණය පිළිබඳ කණ්ඩායම් පුහුණුකරුවන් විසින් මෙසේ සිය අදහස් පළ කරන අතරේ ම බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් ද ACC විසින් ගත් මෙම තීරණයේ සමබරතාව පිළිබඳව ප්‍රශ්න කරනවා. 

මේ අතර කොළඹට වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමට ඇති ඉඩ නිසා තරගාවලියේ ඉතිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන යාමට සූදානම් වෙන බව මීට පෙර සඳහන් වුනා. නමුත් පසුව ACC විසින් නිල වශයෙන් තහවුරු කළේ තරගාවලිය සැලසුම් කර පරිදි කොළඹ දී ම පැවැත්වෙනු ඇති බවයි. 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<