බංග්ලාදේශය ආසියානු කුසලාන පරාජය ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස සලකනවා ලු!

Asia Cup 2023

5426

මේ දිනවල දී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් පෙර පරීක්ෂණයක් බව බංග්ලාදේශය නායක Shakib Al Hasan විසින් සඳහන් කර තිබෙනවා.

ඊයේ (09) ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 21ක පරාජයක් උරුම කර ගැනීමට සිදු වූ බංග්ලාදේශ කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය පිළිබඳ ඇති බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම පාහේ නිමා කර ගැනීමට සිදු වුනා. මෙම පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Shakib විසින් සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ තම කණ්ඩායමේ පිතිකරණ අංශයේ පහළ බැසීමක් ඇති වුනු බවයි.

” එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟ පසුගිය මාස හයක පමණ කාලය තුළ පැවැත්වුණු තරගාවලිවල දී අපේ පිතිකරණය පහත වැටුණා. දැන් මේ තරගාවලියේ දී අපිට අවශ්‍යයි ඒ වෙනුවෙන් වැඩ කරන්න.

අපි පිතිකරණය ගැන සැලකිලිමත් වෙනවා. අපි ඒ අංශ දෙස බලමින් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතුයි. ලෝක කුසලානයට පෙර මෙම තරගාවලිය ගොඩක් වාසිදායකයි. මොකද අපිට යථාර්ථවාදී පරීක්ෂාවක් සිදු කර ගත යුතුව තිබුණා.

ඔබට කියන්න බැහැ අපි නරක කණ්ඩායමක් කියලා, අපි ද්විපාර්ශවික තරගාවලිවල දී හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් මේ වගේ තරගාවලිවල දී අපි අසාමාන්‍ය ලෙස ක්‍රීඩා කරන්නේ නැහැ. අපි 2007, 2011, 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලි වල දී තරග තුන බැගින් ජයග්‍රහණය කළා. ඒ නිසා මිනිසුන්ට ගොඩක් දේවල් කියන්න පුළුවන්, නමුත් මේ වගේ යථාර්ථවාදී පරීක්ෂා කිරීම් වල දී අපි නිතරම අසාර්ථක වෙනවා.

ලෝක කුසලානයට පෙර තරගාවලිය (ආසියානු කුසලානය) පැවැත්වීම හොඳ දෙයක්, ඒ නිසා හැමෝටම අපි ප්‍රශ්න විසඳ ගන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන්.

අපි ආසියානු කුසලානයේ අවසන් තරග දෙක තුනක් ක්‍රීඩා කළත්, විශාල තරගාවලිවල සාර්ථක නොවූ නිසා අපිට ඉතිහාසයක් නැහැ.”

බංග්ලාදේශයට මෙවර තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ ඉහළ බලාපොරොත්තු තබා ගැනීමට නම් ඊයේ තරගය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වුනා. නමුත් ඊයේ සිය පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකාවට අමතර ලකුණු 20ක් පමණ ලබා දුන් බවයි Shakib පවසන්නේ.

” මේ වගේ අසීරු කඩුල්ලක මුල් පිතිකරුවන් සිව් දෙනා විශාල සබඳතාවලට ගියා නම් ක්‍රීඩාගාරයේ සිටි අය නිරවුල් ව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව හිඳී වී. අපේ මුල් පිතිකරුවන් සිව් දෙනා ඉක්මනින් දැවී ගිය නිසා අපිට අපේ තරගය වෙනස් කරන්න සිදු වුනා. ලොකු සබඳතාවක් ගොඩ නැගුනත් අපිට තවත් සබඳතා අවශ්‍ය වුනා. Hridoy තරග දිනවන ඉනිමක් දියත් කළ යුතුව තිබුණා. ලකුණු 260ක් හඹා යන්න නම් අපිට ඉතා හොඳින් පිතිකරණයේ යෙදෙන්න වෙනවා. මොකද මේ කඩුල්ලේ හඹා යන්න පුළුවන් ලකුණු 230-240 වගේ ගණනක්, නමුත් ලකුණු 260ක් තරමක් වැඩියි.

කවුරු පිතිකරණයේ යෙදුනත් එය දිවා කාලයට වඩා හොඳයි. නමුත් අපිට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුනා. අපි අමතර ලකුණු 20ක් පමණ ලබා දුන්නා.”

එමෙන්ම තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමට තිබූ අවදානම නිසා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමුව පන්දු යැවීම තෝරා ගත් බවයි Shakib විසින් මෙහි දී පවසා තිබුණේ.

මීට අමතරව මෙම තරගාවලියේ දී කලකට පසු නැවතත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු භූමිකාවට කැඳවූ Mehidy Hasan Mirazට ලබා දුන් අවස්ථාව පිළිබඳ මෙන්ම ඔවුන්ගේ අනෙක් ආරම්භක පිතිකරු Mohammad Naim පිළිබඳවත් ධනාත්මක මානසිකත්වයකින් අදහස් පළ කළ Shakib ඉඟි කලේ ඉදිරි තරගයේ දී ද (ඉන්දියාව සමඟ) ඔවුන් දෙදෙනා විසින් ඉනිම ආරම්භ කරනු ඇති බවයි.

එමෙන්ම මෙවර ලෝක කුසලානයට පෙර නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය අලුත් ක්‍රීඩකයින් අත්හදා බැලීම වෙනුවෙන් මෙන්ම, කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින්ට අවශ්‍ය විවේකය ලබා දීමටත් අවස්ථාවක් කර ගන්නා බවයි Shakib වැඩිදුරටත් පවසා තිබුණේ.

බංග්ලාදේශයේ ආසියානු කුසලාන බලාපොරොත්තු මෙසේ නිමා වුනත් ඔවුන්ට එළඹෙන 15 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු වන අතර තරගාවලියේ දෙවන වටයේ අවසන් තරගය ලෙසයි ඔවුන් ඉන්දියාව මුණගැසීමට නියමිත ව ඇත්තේ.

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<