වාර්තා රැසක 9.9 මෙහෙයුම

2290

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව ඊයේ (09) සමත් වුනා.

ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්.

ඒ අනුව ඔවුන් මේ දක්වා පිට පිට තරග 13ක් ජයග්‍රහණය කර ඇති අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය 2003 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ තරග 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව හිමිකර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් එවන් දක්ෂතාවක් කළ ආසියාවේ පළමු රට බවටත් පත් වීමට ද සමත් වුනා. එහි එතෙක් රැඳී සිටියේ පාකිස්තානයයි. ඔවුන් 2007/08 තරග සමයේ දී තරග 12ක් ජයග්‍රහණය කරමින් එම ලැයිස්තුවේ පළමු අසුන අරා සිටියා.

එමෙන් ම මෙම වාර්තාවන් සමඟින් ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනක දී දවාලු (All Out) කණ්ඩායම ලෙසින් වූ වාර්තාව තව දුරටත් දීර්ඝ කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ අනුව ඔවුන් ජයග්‍රාහී මේ අවස්ථාවන් 13 දී ම ප්‍රතිවාදීන් දවා ගැනිමට සමත් ව සිටිනවා.

ඊට අමතර ව මෙම ජයග්‍රහණයත් සමඟින් අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් ලෝක නායකයන් අතර දෙවැනි ස්ථානයටත් සහ ආසියානු නායකයන් අතර පළමු ස්ථානයටත් පත් වීමට දසුන් ශානක සමත් වීම ද කැපී පෙනෙනවා.

ජයග්‍රාහී මෙම තරග 13 ම ශ්‍රී ලංකා නායකත්වයේ කිරුළ දැරුවේ දසුන් ශානක වන අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ Ricky Ponting (18) සතු වන අතර තෙවැනි ස්ථානය පාකිස්තානයේ Shoaib Malik (12) සතු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තා ගත තරග 13ක ගමන් මඟ
Result Margin Toss Bat Opposition Ground Date
1 ජය ලකුණු 132 ජය 1 ඇෆ්ගනිස්තානය සූරියවැව 6/4/23
2 ජය කඩුලු 9 පරාජය 2 ඇෆ්ගනිස්තානය සූරියවැව 6/7/23
3 ජය ලකුණු 175 පරාජය 1 UAE Bulawayo 6/19/23
4 ජය කඩුලු 10 ජය 2 ඕමානය Bulawayo 6/23/23
5 ජය ලකුණු 133 පරාජය 1 අයර්ලන්තය Bulawayo 6/25/23
6 ජය ලකුණු 82 පරාජය 1 ස්කොට්ලන්තය Bulawayo 6/27/23
7 ජය ලකුණු 21 ජය 1 නෙදර්ලන්තය Bulawayo 6/30/23
8 ජය කඩුලු 9 ජය 2 සිම්බාබ්වේ Bulawayo 7/2/23
9 ජය කඩුලු 8 ජය 2 බ.ඉ.කො. Harare 7/7/23
10 ජය ලකුණු 128 පරාජය 1 නෙදර්ලන්තය Harare 7/9/23
11 ජය කඩුලු 5 පරාජය 2 බංග්ලාදේශය පල්ලෙකැලේ 8/31/23
12 ජය ලකුණු 2 ජය 1 ඇෆ්ගනිස්තානය Lahore 9/5/23
13 ජය ලකුණු 21 පරාජය 1 බංග්ලාදේශය පල්ලෙකැලේ 9/9/23

ජයග්‍රාහී මෙම තරග දම්වැල 2023 ජුනි 04 වැනිදා සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර එතැන් සිට දින 97ක් තුළ දී සිම්බාබ්වේ සහ පාකිස්තානය හරහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සපුරා ගැනෙනවා.

එම ගමනේ දී ඔවුන් ඇෆ්ගනිස්තානය අවස්ථා 3ක දී ද, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අවස්ථා දෙක බැගින් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ අවස්ථාව බැගින් ද පරාජය කිරීමට සමත් වෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම මෙහෙයුමේ දී කණ්ඩායම වෙනුවෙන්  දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතරින් ඉහළින් ම සිටින්නේ මහීෂ් තීක්ෂණයි. ඔහු නිමා වූ මෙම තරග 13න් අවස්ථා 3ක දී ම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබනවා.

ඊට අමතර ව ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග අවස්ථා 2ක් බැගින් ද, දුෂ්මන්ත චමීර, දිමුත් කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක් අවස්ථාව බැගින් ද තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වෙනවා.

ජයග්‍රාහී එක් එක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයන් සහ

ඔවුන්ගේ දක්ෂතා

Batting Bowling
Man Of The Match Runs Balls 4s 6s SR O M R W Econ
1 ධනංජය ද සිල්වා 29* 24 1 1 120.83 10.0 0 39 3 3.90
2 දුෂ්මන්ත චමීර 9.0 0 63 4 7.00
3 වනිඳු හසරංග 23* 12 3 0 191.66 8.0 1 24 6 3.00
4 වනිඳු හසරංග 7.2 2 13 5 1.77
5 දිමුත් කරුණාරත්න 103 103 8 0 100.00
6 මහීෂ් තීක්ෂන 16* 21 1 0 76.19 10.0 0 41 3 4.10
7 ධනංජය ද සිල්වා 93 111 8 2 83.78 7.0 0 25 0 3.57
8 මහීෂ් තීක්ෂණ 8.2 1 25 4 3.00
9 මහීෂ් තීක්ෂණ 10.0 0 34 4 3.40
10 ඩිල්ෂාන් මධුශංක 0* 0 0 0 7.0 1 18 3 2.57
11 මතීෂ පතිරණ 7.4 0 32 4 4.17
12 කුසල් මෙන්ඩිස් 92 84 6 3 109.52
13 සධීර සමරවික්‍රම 93 72 8 2 129.16

ඕස්ට්‍රේලියාව

මේ ලැයිස්තුවේ එක දිගට තරග ජයග්‍රහණය වැඩි ම ප්‍රමාණයක් ලබා ගත් රට ලෙසින් හැඳින්වෙන්නේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් 2003 වසරේ ජනවාරි 21 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා වූ දින 123ක් තුළ දී අඛණ්ඩව තරග 21ක් ජයග්‍රහණය කරමින් මෙම වාර්තාවට හිමිකම් කියනවා.

ඔවුන් වෙතින් පරාජය වූ රටවල් වෙන්නේ එංගලන්ත අවස්ථා 5ක දී, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ අවස්ථා 4ක් බැගින්, ඉන්දියාව අවස්ථා දෙකක දී, පාකිස්තානය, කෙන්යාව, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, නැමීබියාව සහ නවසීලන්තය එක් අවස්ථාවක් බැගින් ද ලෙසයි.

ඔවුන්ගේ මේ ජයග්‍රාහී තරග දම්වැලේ ආරම්භක නායකයා වන්නේ Ricky Ponting. ඔහු ආරම්භක තරග දෙකේ නායකයා ලෙසින් කටයුතු කළ අතර එංගලන්තය සමඟින් වූ තෙවැනි තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවන්නේ Adam Gilchrist.

එම තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කරන ඔවුන් ඊළඟ තරගය වූ ශ්‍රී ලංකාව සමඟින් වූ තරගයේ දී නැවත Pontingගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසෙනවා. එම තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කරන ඔවුන් එතැන් සිට අඛණ්ඩව තවත් තරග 17ක් ජයග්‍රහණය කරමින්, ජයග්‍රාහී එම ලැයිස්තුව තරග 21ක් දක්වා දීර්ඝ කර ගනිමින් මේ ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කියනවා.

එම ජයග්‍රාහී ලැයිස්තුව අවසන් වන විට Ponting, තරග 18ක දී නායකත්වයේ කටයුතු කරමින් ලොව වැඩිම එක්දින තරග ප්‍රමාණයක් අඛණ්ඩව ජයගත් නායකයා ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා.

දකුණු අප්‍රිකාව

2005 පෙබරවාරි 13 වැනිදා සිට ඔක්තෝබර් 30 වැනිදා දක්වා කාලයේ දී අඛණ්ඩව තරග 12ක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව මීට පෙර මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියා.

ඔවුන්ට මෙම ජයග්‍රාහී තරග ලැයිස්තුව මීට වඩා තවත් තරග කිහිපයකින් ම දිගු කර ගැනීමට අවස්ථාව තිබුණ ද ආරම්භයේ දී සේ ම අවසානයේ දී ද එය වර්ෂාව හේතුවෙන් මඟ හැරී යෑම දෛවෝපගතයි.

ඔවුන් මෙම ජයග්‍රාහී තරග ලැයිස්තුවට එක් වීමට පෙර එංගලන්තය සමඟින් වූ තරගාවලියේ තරග ත්‍රිත්වයක් අඛණ්ඩව ජයග්‍රහණය කර සිටියා. නමුත් ඊට පසුව එළැඹි සිව්වැනි තරගය නිමා වෙන්නේ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූ තරගයක් ලෙසයි.

එතැන් සිට තරග 12ක් අඛණ්ඩව ජය ගන්නා ඔවුන් සහභාගී වූ 13 වැනි තරගය ද අනපේක්ෂිත නිමාවකට ඉඩ ලබා දෙනවා. නවසීලන්තය සමඟින් පැවති එම තරගය වර්ෂාව හේතුවෙන් නොවිඳුණ තරගයක් ලෙසින් තරග ලැයිස්තුවට එක් කෙරෙනවා.

ඔවුන්ගේ ජයග්‍රාහී තරග ලැයිස්තුවේ දී Graeme Smith යටතේ තරග අවස්ථා 9ක දී ද, Shaun Pollock යටතේ අවස්ථා දෙකක දී ද සහ Nicky Boje යටතේ අවස්ථාවක දී ද ලෙසින් මෙම ජයග්‍රහණ වාර්තා වෙනවා.

එහි දී එංගලන්තයට එරෙහිව අවස්ථාවක්, සිම්බාබ්වේට එරෙහිව අවස්ථා 3ක්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අවස්ථා 5ක් සහ නවසීලන්තයට එරෙහිව අවස්ථා 3ක් ලෙසින් ජයග්‍රාහී තරග ලැයිස්තුව සැකසෙනවා.

පාකිස්තානය

2007 වසරේ නොවැම්බර් 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ලැබූ තරග ජයග්‍රහණයේ සිට 2008 වසරේ ජනවාරි 08 වැනිදා බංග්ලාදේශයට එරෙහි ලැබූ ජයග්‍රහණය දක්වා වූ තරග 12ක් ජයග්‍රහණය කරමින් පාකිස්තානය මෙම ලැයිස්තුව සමඟ එක් වුනා.

මෙහි දී ඉන්දියාව එක් අවස්ථාවක දී, සිම්බාබ්වේ අවස්ථා 5ක දී සහ බංග්ලාදේශය අවස්ථා 6ක දී පරාජය කරමින් ඔවුන් මෙම වාර්තාවට හිමිකම් කීවා. එම තරග 12 දී ම පාකිස්තාන නායකත්වයේ කටයුතු කරන්නේ Shoaib Malik වීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව

මෙම ලැයිස්තුවට නැවත වතාවක් එක් වීමට දකුණු අප්‍රිකාව සමත් වෙනවා. ඒ 2016 වසරේ සැප්තැම්බර් 25 වැනිදා සිට 2017 වසරේ පෙබරවාරි 19 වැනිදා දක්වා වූ තරග 12ක ජයග්‍රහණ වාර්තා කර ගනිමිනුයි.

එහි දී ඔවුන් අයර්ලන්තයට එරෙහිව එක් වරක්, ඕස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාවට එරෙහිව අවස්ථා 5ක් බැගින් සහ නවසීලන්තයට එරෙහිව අවස්ථාවක් බැගින් ජයග්‍රහණය කරමිනුයි.

මේ ජයග්‍රාහී ගමනේ දී  AB de Villiers අවස්ථා 6ක දී ද,  Faf du Plessis අවස්ථා 5ක දී ද සහ Graeme Smith  අවස්ථාවක දී ද දකුණු අප්‍රිකානු නායකයන් ලෙසින් කටයුතු කළා.

13 යනු නපුරු හෝ අවාසනාවන්ත ඉලක්කමක් ලෙසයි බොහෝ විට කියැවෙන්නේ. එමෙන් ම 9 යනු ද එවැනි ම ලෙසකින් හැඳින්වෙන ඉලක්කමක්. නමුත් ශ්‍රී ලංකාව මේ තැබූ වාර්තාවන් හා එක් වීමේ දී එම ඉලක්කම් මත ම යැපෙමිනුයි කටයුතු කරන්නට සිදු වූයේ.

ඔවුන්ගේ මේ විශ්මිත දක්ෂතාවන් තවත් කාලයකට අමතක නොවන අතර ඉදිරි තරගවල දී එය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වේවායි අපේ පැතුමයි!

ලෝක ක්‍රිකට් ඉතිහාසයට මෙන් ම ආසියානු ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවන් එක් කළ දසුන් ශානක සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<