මුම්බායි අවසන් සටනට; රනින් කැටයම් කළ කුසලානය කාට ද?

967
IPL 2017 Kolkata knight riders v Mumbai indience report

ප්‍රතිවාදී කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ට එරෙහිව සුපිරි තරග රටාවක් අනුගමනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (19) සිව්වැනි වරටත් IPL අවසන් මහා තරගයක් නියෝජනය කිරීමේ භාග්‍ය උදාකර ගත්හ. ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ රනින් කැටයම් කෙරුණු අයි.පී.එල් කුසලානය වෙනුවෙන් සටන් වදින්නේ ස්ටීවන් ස්මිත් විසින් මෙහෙයවන රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සහ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

හිරු රැස් නිවී යද්දී කල්කටාව කුසලානය සොයා මෙහෙයුමක

පුරා හෝරා 3කටත් අධික කාලයක් බැංගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් පන්දුවාර කප්පාදුවකට හසුවුනු තරගයේ ජය ඊයේ (17) කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි විය.

කාලයාගේ ඇවෑමෙන් ඇතිවුණු ඉරිතැලීම් සහ කඩතොළු වීම් නිසා බැංගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය මේ වනවිට පරිවර්තනය වී තිබෙන්නේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවටයි. එහිදී කාසියේ වාසිය දිනාගන්නට වාසනාවන්ත වූ මුම්බායි නායක රෝහිත් ශර්මා  ප්‍රතිවාදී කල්කටා පිතිකරුවන්ව දඩයම් කර ගැනීමට එය මහඟු අවස්ථාවක් බවට පත්කර ගත්තේය. ඒ කල්කටා පිළට මුලින් පිතිකරණයේ යෙදීමට අවස්ථාව උදාකර දෙමිනි.

රෝහිත්ගේ උපක්‍රමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරමින් කල්කටා ඉනිමට ලකුණු 31ක් එක් වෙද්දී ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 5ක්ම දවා ගන්නට මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ක්‍රිස් ලින් සහ සුනිල් නරෙයින් අසමත් වෙද්දී ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන්ගෙන් ද දකින්නට ලැබුනේ තැති ගැන්වුණු ස්වරූපයේ ක්‍රීඩා රටාවකි. කල්කටා නායක ගෞතම් ගම්බීර් ලකුණු 12කට දැවී යද්දී රොබින් උතප්පා සහ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ද තම වගකීම පැහැර හැරි අනෙකුත් පිතිකරුවන් බවට පත්වූහ.

මෙම කඩුලු 5ටම හිමිකම් කියූ ජස්ප්‍රිට් බුම්රාහ් සහ කරන් ශර්මා යන ක්‍රීඩකයින් දෙදෙනාම ඊයේ දිනයේ තම හොඳම විස්සයි විස්ස පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් විය. මුම්බායි පිළට එරෙහිවම 2008 වසරේදී තම අඩුම ලකුණු ප්‍රමාණය (67) රැස් කරගෙන ඇති කල්කටා පිළ මෙවර ඊටත් වඩා අඩුවෙන් දැවී යාමේ ඉඩකඩක් නිර්මාණය වන්නේ ඒ අනුවයි. නමුත් ප්‍රවීණයන්ගේ ගෞරවය බේරාගත් නවක පිතිකරුවන් යුගලයක් වන ඉශාන්ක් ජග්ගි සහ සූර්‍යකුමාර් යාදෙව් සයවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් පිහිටුවමින් කල්කටාවට යම් සැනසීමක් උදාකර දුන්හ.

ජග්ගි හතරේ පහර 3ක් සමගින් ලකුණු 28ක් රැස් කරද්දී අයි.පී.එල් තරග වලදී යම් තරමක අත්දැකීම් ලබා ඇති සූර්‍යකුමාර් යාදෙව්ගේ පිත්තෙන් ලකුණු 31ක් කණ්ඩායමට එක්විය. ඒ හතරේ පහර ද්විත්වයක් සහ එක් හයේ පහරක් සමගිනි. නැවතත් ක්‍රියාත්මක වුනු කරන් ශර්මා මෙම සබඳතාවයක් බිඳ දැමීමත් සමගින් කල්කටා ඉනිමේ ඉතිරි කඩුලු කිහිපය දවා ගැනීම එතරම් අපහසු නොවීය. අවසානයේ ලසිත් මාලිංගගේ වේග පන්දුවක් හමුවේ කඩුල්ල බිඳ වැටී ගුවනට විසිවුණු බේල්ස් වලින් විහිදුණු රතු පැහැ ආලෝකය කල්කටා ඉනිමේ නිමාව සනිටුහන් කරද්දී ඔවුන් රැස්කර තිබුනේ ලකුණු 107ක් පමණි.

පන්දු යැවීමේ දී පා දඟ පන්දු යවන ක්‍රීඩක කරන් ශර්මා ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මීට අමතරව දැන් දැන් සුපිරි පන්දු යවන්නෙකුගේ ලක්ෂණ පහළ කරමින් සිටින ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 7ක් පමණක් ලබාදී කල්කටා පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයට හරවා යැවීය. ශූරයින්ගේ කුසලානය ආසන්නයේ දී තම පන්දු යැවීමේ උපරිමයට ලඟා වීමට උත්සාහ දරමින් සිටින ලසිත් මාලිංග ද ඊයේ යෝකර් පන්දු සහ වේගය අඩාල කළ පන්දු සංකලනයක් සමඟින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඔහු ඊයේ පන්දුවාර 3.5ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 24කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

මෙම සරල ඉලක්කය හඹා යාමේ මෙහෙයුම ඇරඹූ මුම්බායි පිතිකරුවන් පන්දුවාර 15ක් ගත වන්නටත් ප්‍රථමයෙන් ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් වූහ. ආරම්භයේදී ලකුණු 34ට කඩුලු 3ක් බිඳ වැටුනත් එය ගැටලුවක් කර නොගත් නායක රෝහිත් ශර්මා සහ කෘනාල් පාණ්ඩ්‍යා පිළිවෙලින් ලකුණු 26 සහ 45* බැගින් රැස් කරමින් මුම්බායි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළහ. පන්දු 30ක් පමණක් වැයවුණු කෘනාල්ගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 8ක්ම ඇතුළත් විය.

ඒ අනුව තරගය කඩුලු 6කින් ජයගත් මුම්බායි කණ්ඩායම හෙට (21) හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා දොරගුළු විවර කර ගත්හ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය භාරගත් මුල්ම අවස්ථාවේදීම මුම්බායි කණ්ඩායම මෙවන් වූ විශිෂ්ට දක්ෂතාවයක් දැක්වීම ශ්‍රී ලාංකිකයන්ට මහත් වූ ගෞරවයක් ගෙන දී තිබේ. අවසන් මහා තරගයේ දී ඔවුන් මුහුණ දෙන්නේ ජාත්‍යන්තර පිටියේ සුපිරි නායකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් සහ එම්.එස්. දෝනි ක්‍රීඩා කරන රයිසින් පූනේ කණ්ඩායමට එරෙහිව වන නිසා එහිදී ස්වර්ණමය IPL කුසලානය වෙනුවෙන් අති උද්වේගකර සටනක් ඇතිවන බවට සැකයක් නැත.

කල්කටා නයිට් රයිඩර්ස් – සියල්ලන්ම දැවී ලකුණු 107 (පන්දුවාර 18.5): සූර්‍යකුමාර් යාදෙව් 31, ඉශාන්ක් ජග්ගි 28, ගෞතම් ගම්බීර් 12, සුනිල් නරෙයින් 10, කරන් ශර්මා 4/16, ජස්ප්‍රිට් බුම්රාහ් 3/7, මිචෙල් ජොන්සන් 2/28, ලසිත් මාලිංග 1/24.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 111 (පන්දුවාර 14.3): කෘනාල් පාණ්ඩ්‍යා 45*, රෝහිත් ශර්මා 26, පාතිව් පටෙල් 14, කිරන් පොලාර්ඩ් 9*, පියුශ් චව්ලා 2/34, නේදන් කෝල්ටර්නයිල් 1/15, උමේෂ් යාදෙව් 1/23.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට