කිවියන්ගේ අලුත්ම අත්හදාබැලීම ඉන්දීය පිළ දණ ගස්වයි!

89
ICC

මීට පෙර කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැති 25 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නෙකුගේ ආගමනයෙන් ශක්තිමත් වුනු නවසීලන්ත පිළට අද (08) සංචාරක ඉන්දීය පිළට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයත් ලකුණු 22ක පරතරයකින් ජය ගැනීමට හැකිවිය. ඒ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි.

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත (DEAF) ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග…..

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ ඉන්දීය නායක විරාත් කෝලියි. ඒ අනුව තම කණ්ඩායම වඩාත් කැමති පිතිකරණය පසුවට තබා ගනිමින් මුලින් පන්දු යැවීමේ යෙදෙන්නට ඔහු තීරණය කළේය. කෙසේ නමුත් එහි ප්‍රතිඵල දකින්නට ඔවුන්ට 17 වැනි පන්දුවාරය දක්වාම බලා සිටින්නට සිදුවිය. ඒ මාර්ටින් ගප්ටිල් සහ හෙන්රි නිකොල්ස් පළමු කඩුල්ල සඳහාම ලකුණු 93ක සාර්ථක සබඳතාවයක් පැවැත්වූ බැවිනි. 

පන්දු 59කට මුහුණ දුන් හෙන්රි නිකොල්ස් අද හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් රැස් කළේය. තම දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ටොම් බ්ලන්ඩෙල් අද පසුගිය තරගයට වඩා දස්කම් දක්වමින් ලකුණු 22ක් ලබා ගත්තේ පන්දු 25කට මුහුණ දෙමිනි. නවසීලන්ත පිළේ ආරම්භය වර්ණවත් කළ මාර්ටින් ගප්ටිල් අද ලකුණු 79ක ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වෙත ලඟා වෙමින් සිටියදී අවාසනාවන්ත ලෙස පිටිය හැර යාමට සිදුවූයේ දුවද්දී දැවී යාමට ලක්වීමෙනි. ඒ වනවිට ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබුණි.

ගප්ටිල්ගේ දැවී යාමෙන් පසු නවසීලන්ත ඉනිම බිඳ වැටීම වේගවත් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 197ක් වෙද්දී ඔවුන්ට මුල්පෙළ කඩුලු 8ක් අහිමිව තිබුනේ ලකුණු 250 සීමාවද සිහිනයක් බවට පත් කරමිනි. කෙසේවෙතත් අවසන් තරගයේ දී විශිෂ්ට ශතකයක් සමඟින් තරගයේ වීරයා බවට පත්වූ රොස් ටේලර් නොදැවී එක් අන්තයක් රැකගෙන සිටියේ නවසීලන්ත ප්‍රේක්ෂකයින්ගේ සිහින සැබෑ කිරීමටයි. ඒ අනුව අවසන් පන්දුවාර 4දී ටේලර් හතර අතට පහර දුන්නේ නවසීලන්ත ලකුණු පුවරුව 273ක් දක්වාම ඉහළ දමමිනි. 

අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා මේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ගන්න. මම ඔහුට……

ඒ අනුව ඉනිම නිමාවී දෙපිළේම ක්‍රීඩකයින් විවේකාගාරය බලා යනවිට රොස් ටේලර් පන්දු 74කදී නොදැවී ලකුණු 73ක් ලබා සිටියේය. ඒ මනරම් හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමඟයි. ටේලර්ට ඉනිමේ අවසන් භාගයේදී අගනා සහයක් දුන් කයිල් ජැමීසන් ජාත්‍යන්තර එක්දින ක්‍රීඩාවට හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දු 24කදී නොදැවී ලකුණු 25ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 3ක් ද, ශාදුල් තකූර් කඩුලු 2ක් ද බිඳ හෙලීය.

ඉන්දීයාව ලකුණු හඹායාමේදී දක්වන දක්ෂතා නිසා අද ඉතාමත් දරුණු සටනක් මෙම කණ්ඩායම් දෙක අතරේ දැක ගන්නට ලැබෙනු ඇතැයි විචාරක අදහස් පළ වුවද දෙවැනි ඉනිම ඇරඹීමෙන් පසු කරුණු කාරණා එසේ නොවීය. ඒ ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් බොහෝදෙනා අද අඩු ලකුණු සංඛ්‍යා වලට පිටිය හැර යාමට පටන් ගැන්මත් සමඟයි. එහිදී මේ දිනවල උපරිම රිද්මයේ සිටින ලෝකේෂ් රාහුල් ලකුණු 4කටත්, නායක විරාත් කෝලි ලකුණු 15කටත් දැවී යාම නිසා ඉන්දීය කණ්ඩායමට සිදුවූ පාඩුව සුළුපටු නොවීය.

“වයස අදාළ නැහැ දක්ෂතාවයි වැදගත්” – චමරි අතපත්තු

වයස නොබලා දක්ෂතාවය අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් ගන්නා බවත් දක්ෂතාවය සඳහා වයස බාධාවක්….

කෙසේවෙතත් පසුගිය තරගයේ ඉන්දීය පිළ වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ශ්‍රෙයාස් අයර් අද අර්ධ ශතකයක් (52) වාර්තා කරගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ එක් හයේ පහරකින් හැඩවිය. නමුත් මුල්පෙළ පිතිකරුවන් සියල්ලම පාහේ අසාර්ථක වූ වටපිටාවක අයර්ගේ අර්ධ ශතකය ඉන්දීය පිළේ දෛවය වෙනස් කරන්නට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව ඉන්දීය ඉනිම අද මග නතර වූයේ ලකුණු 251කටයි. පන්දු යැවීමේ දී හාමිෂ් බෙනට්, ටිම් සවුති, කයිල් ජැමීසන් සහ ග්‍රැන්ඩ්හොම් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ. 

තරගයේ අවසන් කොටසේදී රවීන්ද්‍ර ජඩේජා සහ නව්දීප් සයිනි ලකුණු 76ක සබඳතාවයක් ගොඩ නගමින් තරගය නැවතත් සියතට ගැනීමට යම් උත්සාහයක් දැරූවද එය සාර්ථකව මැඩ පැවැත්වීමට කිවියන්ට හැකිවිය. එහිදී ජඩේජා පන්දු 73කට මුහුණ දී ලකුණු 55ක් රැස් කරද්දී, පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින නව්දීප් සයිනි පන්දු 49කට මුහුණ දෙමින් ලකුණු 45ක් රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟයි.

Bushfire Bash තරගයේ වෙනසක්

ක්‍රිකට් තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශන ක්‍රිකට් තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේ…..

තරගයේ වීරයා සම්මානය සඳහා අද මාර්ටින් ගප්ටිල්, කයිල් ජැමීසන් සහ රොස් ටේලර් අතරේ හොඳ තරගයක් පැවති අතර අවසානයේ ඊට හිමිකම් කීවේ තම මංගල තරගයට ක්‍රීඩා කරමින් අත්‍යවශ්‍යම මොහොතේ නොදැවී ලකුණු 25ක් සහ ප්‍රිත්වි ශෝ සහ නව්දීප් සයිනිගේ කඩුලු බිඳ හෙලූ කයිල් ජැමීසනුයි. දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 11 වැනිදා බේ ඕවල් හිදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

නවසීලන්තය – කඩුලු 8ක් දැවී ලකුණු 273 (පන්දුවාර 50) මාර්ටින් ගප්ටිල් 79, රොස් ටේලර් 73*, හෙන්රි නිකොල්ස් 41, කයිල් ජැමීසන් 25*, ටොම් බ්ලන්ඩෙල් 22, යුශ්වේන්ද්‍ර චහාල් 3/58, ශාදුල් තකූර් 2/60, රවීන්ද්‍ර ජඩේජා 1/35.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 251 (පන්දුවාර 48.3) රවීන්ද්‍ර ජඩේජා 55, ශ්‍රෙයාස් අයර් 52, නව්දීප් සයිනි 45, ප්‍රිත්වි ශෝ 24, ශාදුල් තකූර් 18, ටිම් සවුති 2/41, කයිල් ජැමීසන් 2/42, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 2/54.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<