Home Sinhala කොළඹ කලඹමින් Jaffna කණ්ඩායමෙන් රාජකීය ආරම්භයක්!

කොළඹ කලඹමින් Jaffna කණ්ඩායමෙන් රාජකීය ආරම්භයක්!

1588

තෙවරක්ම LPL ශූරතාවයෙන් පිදුම් ලැබූ Jaffna Kings කණ්ඩායම ඊයේ (30) සිව්වැනි තරග සමයටත් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේ Colombo Strikers කණ්ඩායම ලකුණු 21කින් පරාජය කර දමමින්.  

වෙනදාට සාපේක්ෂව ඊයේ සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් දෙපිළටම සහය දක්වමින් ආර්. ප්‍රේමදාස පිටියට පැමිණ සිටියා. ඒ සංවිධානය කෙතරම් ඉහළින් තිබුනත්, මෙවන් තරගාවලියක සාර්ථකත්වයට ප්‍රේක්ෂක සහභාගිත්වය අත්‍යාවශ්‍ය වන බව මැනවින් වටහා ගනිමින්. අපූරු සමාරම්භක උත්සවයකින් පසු උරගා බැලුණු කාසියේ වාසිය මෙවර හිමිකර ගත්තේ Colombo Strikers නව නායක නිරෝෂන් දික්වැල්ලයි. 

ඔහුගේ යෝජනාවට අනුව Jaffna Kings මුලින් පිතිකරණයේ යෙදීමට පිටියට පිවිසියා. පාකිස්තානු ක්‍රීඩක Naseem Shah ක්‍රියාත්මක කළ තරගයේ මුල්ම පන්දුවාරයේ අවසන් පන්දුවට ස්ලිප් කලාපයට දුෂ්කර උඩපන්දුවක් ලැබුනත්, එය රැක ගැනීමට Colombo Strikers සමත් වුනේ නැහැ. ඉන් වාසනාවන්ත වූ Rahmanullah Gurbaz ඊයේ පන්දු 11කින් ලකුණු 21ක් ලබා ගත්තා. 

Gurbaz දෙවනුව ලබා දුන් උඩපන්දුව හීයක් මෙන් ඉහළ නැගුනත් පන්දුව වෙතම ඇස රඳවා ගෙන සිටි රමේෂ් මෙන්ඩිස් පැත්තෙන් පැත්තට දිව යමින් අති සාර්ථක ලෙස පන්දුව ග්‍රහණය කර ගත්තේ විචාරකයින්ගේ දැඩි ප්‍රසාදය හිමිකර ගනිමින්. අවස්ථා කිහිපයක් හැරුනුකොට ඉතිහාසයේ දියාරුම පන්දු රැකීමේ කණ්ඩායම ලෙස විරුදාවලි ලත් Colombo Strikers අලුත් ක්‍රීඩකයින් සමඟ ඊයේ සාර්ථක පන්දු රැකීමක යෙදුණා. 

ලක්ෂාන් සඳකැන් ක්‍රියාත්මක කළ ඉනිමේ 11 වැනි පන්දුවාරය සුවිශේෂී එකක් වූ අතර එහි දී ප්‍රියමාල් පෙරේරා ස්ටම්ප් කිරීමකට හසු කර ගත් බවට නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීම ඔහුටම පාරාවලල්ලක් බවට පත්වුනා. ඒ ඔහු කඩුල්ලට ඉදිරියෙන් පන්දුව ග්‍රහණය කරගන්නා බව පුනරූපන වලින් දැක ගන්නට ලැබීම නිසයි. මේ අනුව එම පන්දුව නිපන්දුවක් බවට පත් කෙරුණු අතර Free Hit අවස්ථාවක් ද Jaffna කණ්ඩායමට හිමි වුනා. 

විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වා නොමැති නිශාන් මදුශ්ක ඊයේ රැස් කළේ ලකුණු 12ක් පමණයි. ඔහු ලකුණක් කරා දිව යද්දී තම පාදයෙන් පන්දුව කඩුල්ල වෙත යොමු කළ චාමික කරුණාරත්න දුවද්දී දවා ගැනීමක් සාර්ථක කර ගත්තා. මේ දිනවල ක්‍රිකට් දිවියේ ගිම්හාන කාලයක් පසු කරන චරිත් අසලංකත් ඊයේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ නැහැ. මේ සියල්ල මැද ඊයේ Jaffna දිනවන ඉනිම ක්‍රීඩා කළේ නවක බංග්ලාදේශ පිතිකරු Towhid Hridoy විසිනුයි. 

දැවී යාමේ අවදානමක් නොමැති දුර්වල පන්දු වලින් උපරිම ලකුණු ගණනක් උදුරා ගැනීමට නිපුණත්වයක් පෙන්නුම් කළ මෙම 22 හැවිරිදි යෞවනයා ඊයේ පන්දු 39කට පමණක් මුහුණ දෙමින් ලකුණු 54ක් ලබා ගත්තා. ප්‍රියමාල් පෙරේරා ලකුණු 22යි. දුනිත් වෙල්ලාලගේ Hridoy සමඟ එක්වෙමින් පස්වැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට දායක වුනා. ඒ නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින්. 

තරමක් ප්‍රමාද වී පිටියට පැමිණි නායක තිසර පෙරේරා පන්දු 7කට පමණක් මුහුණ දෙමින් එමෙන් දෙගුණයක් ලකුණු වාර්තා කරන්නට සමත් වුනේ Jaffna Kings ඉනිම ලකුණු 173ක් දක්වා ගෙන යමින්. එහි දී මතීෂ පතිරණට ඊයේ IPL පිටියේ දී මෙන් සුපිරි දස්කම් දැක්වීමට නොහැකි වූ අතර එක් කඩුල්ලක් වෙනුවෙන් ඔහු ලකුණු 32ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.  

ප්‍රේමදාස පිටියේ දී ලකුණු 174ක ඉලක්කයක් යනු දෙවැනි වර පන්දුවට පහර දෙමින් සපුරා ගැනීමට අසීරු ඉලක්කයක් වන නිසා Colombo Strikers කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා ගැනීම අනිවාර්ය වුනා.  

නමුත් සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ තිසර පෙරේරා Strikers කණ්ඩායමේ ඇරඹුමම කඳුලක් බවට පත් කළේ කලක් ලොව අංක එකේ T20 පිතිකරුවා වූ Babar Azamව දවා ගනිමින්. 

තිසර යොමු කළ පන්දුව Babar සිතුවාටත් වඩා පහතින් කඩුල්ල කරා ඇදී යද්දී ඔහු ලබා සිටියේ ලකුණු 7ක් පමණයි. අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ දික්වැල්ල ඊයේ සාර්ථක ඉනිමක් ගොඩ නැගුවේ පන්දු 34කින් ලකුණු 58ක් ලබා ගනිමින්. ඔහු ඒ අතරතුරේ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. 

නමුත් Strikers නායකයා හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 25 සීමාව හෝ පසු කරන්නට අපොහොසත් වීම මත ඔවුන්ට තරගාවලියට සාර්ථක ආරම්භයක් සනිටුහන් කිරීමට හැකි වුනේ නැහැ. 

අංක 3 ක්‍රීඩා කළ පැතුම් නිස්සංක දකුණු අප්‍රිකානු ක්‍රීඩක Hardus Viljoen යැවූ කඩුල්ලෙන් ඉවතට ඇදී යන පන්දුවක් එලවා යන්නට ගොස් දැවී ගියා. හයේ පහර දෙකක් එල්ල කරමින් හොඳ ආරම්භයක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දු අවසානයේ විජයකාන්ත් වියස්කාන්ත් යැවූ පන්දුවක් හරිහැටි තෝරා ගන්නට නොහැකිව ඔහු අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ලකුණු 17කටයි. 

ඉනිමේ අවසන් කොටසේ දී චාමික කරුණාරත්න Jaffna Kings ලකුණු පුවරුව අභිබවා යාමට යම් උත්සාහයක් ගත්ත , අවසානයේ නොතිබූ ලකුණක් කරා දිව යාමට උත්සාහ කරමින් දැවී ගියා. පන්දු 15කදී ඔහු හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් රැස්කර ගත්තත් අනෙක් අන්තයෙන් කිසිදු සහයෝගයක් ඔහුට හිමි වුනේ නැහැ. 

මේ නිසා අවසන් පන්දුවාරයේ දී පිතිකරුවන් සියල්ලන්ම දැවී අවසන් වන විට Colombo ඉනිමට එකතු වී තිබුණේ ලකුණු 152ක් පමණයි. බැලූ බැල්මටම Colombo Strikers පිතිකරණ ලැයිස්තුවට විශ්වාසය තැබිය හැකි මැදපෙළ ප්‍රහාරක පිතිකරුවෙකුගේ අවශ්‍යතාවය දැඩිව දැනෙන බව පෙනී යන අතර මෙය අද රාත්‍රියේ B-Love Kandy සමඟ පැවැත්වෙන තරගයට පවා අහිතකර ලෙස බලපානු ඇති.  

පන්දු යැවීමේ දී Hardus Viljoen ලකුණු 31ට කඩුලු 3ක් බිඳ හෙළද්දී, LPL වෙන්දේසියේ දී වැඩිම මිලක් හිමිවූ ඩිල්ශාන් මධුශංක සහ උතුරුකරයෙන් ක්‍රිකට් පිටියට පිවිස දැන් රටම හඳුනන විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානයත් වියස්කාන්ත් විසින් දිනා ගත්තා. 

Result


Jaffna Kings
173/5 (20)

Colombo Strikers
152/10 (19.4)

Batsmen R B 4s 6s SR
Nishan Madushka run out (Chamika Karunaratne) 12 13 1 0 92.31
Rahmanullah Gurbaz c Ramesh Mendis b Naseem Shah 21 11 1 2 190.91
Charith Asalanka c Babar Azam b Lakshan Sandakan 12 14 1 0 85.71
Towhid Hridoy c Naseem Shah b Chamika Karunaratne 54 39 4 1 138.46
Priyamal Perera c Niroshan Dickwella b Matheesha Pathirana 22 16 3 1 137.50
Dunith Wellalage not out 25 23 2 0 108.70
Thisara Perera not out 14 7 3 0 200.00


Extras 13 (b 5 , lb 2 , nb 3, w 3, pen 0)
Total 173/5 (20 Overs, RR: 8.65)
Fall of Wickets 1-27 (2.5) Rahmanullah Gurbaz, 2-42 (5.2) Nishan Madushka, 3-66 (8.4) Charith Asalanka, 4-107 (12.6) Priyamal Perera, 5-157 (18.3) Towhid Hridoy,

Bowling O M R W Econ
Naseem Shah 3 0 30 1 10.00
Mohammad Nawaz 4 0 24 0 6.00
Ramesh Mendis 1 0 10 0 10.00
Matheesha Pathirana 4 0 32 1 8.00
Chamika Karunaratne 4 0 36 1 9.00
Lakshan Sandakan 4 0 34 1 8.50


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Vijayakanth Viyaskanth b Dilshan Madushanka 58 34 9 1 170.59
Babar Azam b Thisara Perera 7 8 1 0 87.50
Pathum Nissanka c Avishka Fernando b Hardus Viljoen 1 2 0 0 50.00
Nuwanidu Fernando c & b Vijayakanth Viyaskanth 17 14 0 2 121.43
Mohammad Nawaz c Dilshan Madushanka b Hardus Viljoen 3 6 0 0 50.00
Yashodha Lanka run out (Dunith Wellalage) 11 16 1 0 68.75
Chamika Karunaratne run out (Maheesh Theekshana) 23 15 2 1 153.33
Ramesh Mendis c Avishka Fernando b Hardus Viljoen 17 10 1 1 170.00
Naseem Shah st Avishka Fernando b Vijayakanth Viyaskanth 0 3 0 0 0.00
Lakshan Sandakan not out 2 2 0 0 100.00
Matheesha Pathirana b Dilshan Madushanka 8 3 2 0 266.67


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 152/10 (19.4 Overs, RR: 7.73)
Fall of Wickets 1-33 (3.4) Babar Azam, 2-40 (4.3) Pathum Nissanka, 3-78 (8.5) Nuwanidu Fernando, 4-87 (10.3) Niroshan Dickwella, 5-87 (11.1) Mohammad Nawaz, 6-121 (15.5) Chamika Karunaratne, 7-128 (16.3) Yashodha Lanka, 8-128 (16.6) Naseem Shah, 9-143 (18.1) Ramesh Mendis, 10-152 (19.4) Matheesha Pathirana,

Bowling O M R W Econ
Dilshan Madushanka 2.4 0 18 2 7.50
Thisara Perera 3 0 29 1 9.67
Maheesh Theekshana 4 0 39 0 9.75
Hardus Viljoen 4 0 31 3 7.75
Vijayakanth Viyaskanth 4 0 17 2 4.25
Charith Asalanka 1 0 6 0 6.00
Dunith Wellalage 1 0 8 0 8.00



අද LPL පිටියේ තරග 2ක් ක්‍රියාත්මක වන අතර සන්ධ්‍යාවේ දසුන් ශානක නායකත්වය දරන Galle Titans සහ කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන Dambulla Aura එකිනෙකා සමඟ තරග වදිනු ඇති. එහි සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම! 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<