ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා නායකත්වයෙන් ඉවතට

3878
Angelo Mathews

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අංශයන්ගේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව Thepapare.com වෙත වාර්තා වේ.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඊයේ (10) හම්බන්තොට දී නිමා වූ එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීම ඔහුගේ මෙම තීරණයට දැඩි ලෙස බලපා ඇත.

එම අභාග්‍යසම්පන්න තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹට පැමිණි අතර, ඇන්ජලෝ මැතිව්ස් තමන් නායකත්වයෙන් ඉවත්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබේ. එම තරගාවලියේ පස්වන තරගය නිමාවීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ද මැතිව්ස් පවසා සිටියේ එම පරාජය ඔහු තම ක්‍රිකට් ජීවිතය තුළ මෙතෙක් අත්නොවිඳී ආකාරයේ  දරුණු පරාජයක් බවයි.

පසුගිය ලිපි: මගේ ක්‍රිකට් ජීවිතය තුල ලබාගත් දැවැන්තම පරාජයක්- මැතිව්ස්

මෙම පරාජය මගේ ක්‍රිකට් ජීවිතය තුල ලැබුණු තවත් එක් දරුණු පරාජයක්. හුඟක් අභියෝග ආවේ අපිට විරුද්ධව. පරාජයට හේතු දැක්වීමට දෙයක් නෑ දිනය අවසානයේ ඔවුන් අපිව අභිබවා යාමට සමත් වුණා.” යැයි මැතිව්ස් පැවසීය.

2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තම කර මතට ගත් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායකත්වය ලබා ගත් තරුණම නායකයා බවට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 25කි. එතැන් සිට මේ වන තෙක් ටෙස්ට් තරග 34ක් මැතිව්ස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කර ඇති අතර, ඒ අතුරින් තරග 13ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත. එයින් තරග 15ක් පරාජයට පත්වී ඇත.

ශ්‍රී ලංකා  එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය 2012 වර්ෂයේ දී හිමිකර ගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මැතිව්ස්ගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර එක්දින  තරග 98ක් ක්‍රීඩා කර ඉන් තරග 47ක් ජයග්‍රහණය කර ඇති අතර, තවත් තරග 45ක් පරාජයට පත්වී ඇත.

විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී මැතිව්ස්ගේ නායකත්වයේ දත්තයන් සැලකූ විට විස්සයි-20 තරග 4ක් ජයග්‍රහණය කරා මෙහෙය වීමට මැතිව්ස්ට හැකි වූ නමුත් ඔහුගේ නායකත්වය යටතේ මෙහෙයවූ තවත් තරග 7ක් පරාජයට පත්වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පසුගිය වර්ෂයේ දී නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දරුණු ඝනයේ පරාජයකට මුහුණ දීමට මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සුවිශේෂී දස්කමකි.

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ලබන 14 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව ආරම්භ වන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට ඉඩ ඇති අතර, වමතින් පිතිකරණයේ නිරත වන උපුල් තරංග ඉදිරියේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හා විස්සයි-20 කණ්ඩායම මෙහෙය වීමට වැඩි ඉඩක් පවතී.

කෙසේ වෙතත් මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිළ වශයෙන් තහවුරු කර නැත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට