කෝලිගේ ඉනිම ශ්‍රී ලංකාවේ දෑස් තෙත් කරයි

529
AFP

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සම්පූර්ණ දින දෙකක කාලයක් සමඟින් ලකුණු 405ක් පිටුපසින් සිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, නාග්පූර් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 384ක් පිටුපසින් සිටිනුයේ කඩුලු 9ක් ඇතැතිවයි.

ඉන්දීය පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වෙහෙසකර පුහුණු සැසියක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය පුරා දුවවමින් ඔවුන්ට වෙහෙස කර පුහුණු සැසියක් සංවිධානය කළා වූ ඉන්දීය පිතිකරුවෝ…

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවාසනාවන්ත ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ය. ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ඔහුගේ ඉනිම නිමා වූයේ දෙවැනි ඉනිමේ දෙවැනි පන්දුවේ දීය.

ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 610ක් ව තිබිය දී නිමා කළේ අද (26) ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලකුණු පුවරුවට එක් වෙද්දීය. ඒ අනුව ඉන්දීය ඉනිමට එක් වූ ශතක ප්‍රමාණය 4කි. මීට ප්‍රථම ඉන්දීය ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක දී එල්ල කර ඇත්තේ ශතක 3ක් පමණි. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 1997 වසරේ දීය.

එම ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 537ක් වූ අතර එහි දී ශතකලාභීන් ලෙසින් නව්ජෝට්සිං සිදූ (111), සචින් තෙන්ඩුල්කාර් (143) සහ මොහොමඩ් අසරුඩීන් (126)ගේ නම් සටහන්ව තිබුණි. මෙවර එම වාර්තාව අලුත් වෙන්නේ වසර 20කට පසුවය. ඒ අනුව නව වාර්තාවේ හිමිකරුවන් ලෙසින් විරාත් කෝලි (213), මුරලි විජේ (128), චෙටෙස්වර් පුජාරා (143) සහ  රෝහිත් ෂර්මා (නොදැවී 102)ගේ නම් ලියැවුණි.

නායකත්වයේ කිරුළ විරාත් කෝලි අද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වැනි ද්විත්ව ශතකය ලබා ගත්තේය. ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් විරාත් කෝලි දැවී යද්දී පන්දු 267කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 213ක් රැස් කරගෙන සිටියේය.

ඔහුගේ මෙම ඉනිම දෙවැනි වූයේ පෞද්ගලිකව තමන් එංගලන්තයට එරෙහිව මුම්බායි හිදී 2016 වසරේ දී ලබාගත් ලකුණු 235ටය. ඔහු එම ඉනිමට අමතරව නවසීලන්තයට එරෙහිව ලකුණු 211ක් ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 204ක් ද සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 200ක් ද ලෙසින් ද්විත්ව ශතක වාර්තා කරගෙන සිටියේය.

කෝලි විසින් අද ගොඩ නැගූ ඉනිම නායකයෙකුගෙන් කලකට පසු දුටු ප්‍රහාරාත්මක ඉනිමක් ලෙසින් ද හැඳින්විය. ඒ එම ඉනිම ලෝක වාර්තාවන් අලුත් කිරීමට සේ ම ලෝක වාර්තාවන් ස්පර්ෂ කිරීමට ද සමත් වීම නිසාය.

ඒ අනුව නායකයෙක් ලෙසින් කැලැන්ඩර් වසරක දී ශතක 10ක් රැස්කළ පළමු පිතිකරුවා ලෙසින් ඔහු පළමුවෙන්ම අභිශේක ලැබුවේය. මීට පෙර 2006 සහ 2005 වසර ද්විත්වයේම එකී වාර්තාවට හිමිකම් කීවේ ශතක 9ක් බැගින් රැස් කරගෙන සිටි රිකී පොන්ටිං ය. එසේම ද්විත්ව ශතක 5ක් රැස් කළ ලොව දෙවැනි නායකයා වන්නේ ද කෝලි ය. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් නායකත්වයේ සිටි බ්‍රයන් ලාරා ද රැස්කරගෙන සිටි ද්විත්ව ශතක සංඛ්‍යාව 5කි.

ඉන්දීය ඉනිමේ දවසේ දැවී ගිය මුල්ම ඉන්දීය පිතිකරු වූයේ චෙටෙස්වර් පුජාරා ය. ඔහු දසුන් ශානකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යද්දී පන්දු 362කට මුහුණ දී හතරේ පහර 14ක් ද සමඟින් ලකුණු 143ක් ලබා සිටියේය.

දසුන් ශානකට දඩ; තරග තහනමකට අවදානමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී පන්දුවේ තත්වය…

දහවල් විවේකයට තවත් පන්දු 13ක් පමණක් ඉතිරිව තිබිය දී පුජාරා දැවී යද්දී විරාත් කෝලි සමඟින් 3 වැනි කඩුල්ලට ඔහු එක්කළ සබඳතාව ලකුණු 183කි.

දිනයේ පළමු අර්ධය අවසන් වූයේ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 404ක්ව තිබිය දී ය. ඒ වන විට විරාත් කෝලි නොදැවී ලකුණු 143ක් ලබා ගනිමින් සහ අජින්ක්යා රහනේ කිසිදු ලකුණක් නොලබමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

දිවා විවේකයෙන් අනතුරුව අජින්ක්යා රහානේ ගේ දැවී යෑමත් සමඟින් ඉන්දීය ඉනිමේ කඩුලු වැටීම කාර්තුවකට එක බැගින් සේ දිස්විය. එම කඩුල්ලෙන් අනතුරුව සවස තේ පානය වනතුරු නැවත කිසිදු කඩුල්ලක් ලබා දීමට ඉන්දීය පිතිකරුවෝ පරිස්සම් වූහ. ඒ අනුව තේ පානයට තරගය නතර කරන විට විරාත් කෝලි නොදැවී ලකුණු 170ක් ද, රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 52ක් ද ලබා සිටියහ. ඉන්දීය ලකුණු පුවරුව නතරව තිබුණේ කඩුලු 4ක් දැවී ලකුණු 507 ය.

තේ පානයෙන් අනතුරුව වූ කෝලිගේ දැවී යෑමත් සමඟ ඉන්දීය ලකුණු  පුවරුව මන්දගාමී වෙතැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිතූව ද, පෙර කාර්තුවේ සිටම ලකුණු අතර සිටි රෝහිට් ෂර්මා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ පුහුණු සැසිය නැවත තමා වෙත බාර ගත්තේය. කෝලි සහ ෂර්මා අතර 4 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 173කි.

රෝහිට් ෂර්මා අද රැස්කළේ තමාගේ තෙවැනි ශතකය වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ පළමු ශතකයයි. ඉන්දීය ඉනිමේ අවසන් ලකුණ ලබාගත් රෝහිට් ෂර්මා තමන්ගේ ඉනිමට නොදැවුණ ලකුණු 102ක් එක් කර ගත්තේ පන්දු 160කට මුහුණ දෙමිනි. එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුලත් විය.

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළට සියල්ල සූදානමින්

එළඹෙන දෙසැම්බර් මස පළමු වැනි දින ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ 2017/18 වසර සඳහා වන…

අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම්තරමකින් හෝ සැනසුමක් ලැබුණේ ඉන්දීය ඉනිමේ කඩුලු 4ක් දැවී යෑමයි. ඉන් කඩුලු 3ක්ම තමන්ගේ ගිණුමට බැර කර ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය.  දිනයේ ලබා ගත් අනෙක් කඩුල්ලේ හිමිකරුවා වූයේ දසුන් ශානක ය.

කඩුලු ලබා ගත් අනෙක් පන්දු යවන්නන් වූයේ ලහිරු ගමගේ සහ රංගන හේරත් ය. වේග පන්දු යවන සුරංග ලක්මාල්ට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වූ අතර කඩුලු නොමැතිව ළතැවෙමින් සිට බැරිම අවස්ථාවේ පන්දු වාර දෙකක් පමණක් යැවීමට කැඳවුණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ද කඩුලු හිමි වූයේ නැත. හෙට (27) තරගයේ සිව්වැනි දිනයයි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂන් දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ඉනිම අත්හිටවූවා 610 (176.1): (දෙවන දිනය නතර කරන විට පන්දුවාර 98.0ක දී කඩුලු 2ක් දැවි 312; මුරලි විජේ 128, චෙටෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54) චෙටෙස්වර් පුජාරා 143, විරාත් කෝලි 213, රෝහිත් ෂර්මා නොදැවී 102, දිල්රුවන් පෙරේරා 202/3

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (9.0): දිමුත් කරුණාරත්න 11*, ලහිරු තිරිමාන්න 9*

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<