ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමි වෙයි

22nd Asian Athletics Championship 2026

1

22 වැනි වයස අවුරුදු 20න් පහළ මලල ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයට අදාළ තරග ඉසව් ඊයේ (29) දිනයේ දී ක්‍රියාත්මක වුනා. 

මෙම තරග ඉසව්වල දී ශ්‍රී ලංකාව විසින් තවත් එක් ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර ක්‍රීඩක, ක්‍රීඩිකාව කිහිප දෙනෙකු ම තවත් අවසන් මහා තරග කිහිපයකට ම සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා. කෙසේ වෙතත් ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවට පිරිමි මීටර් 400 ඉසව්වෙන් පදක්කමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස මග හැරී ගියා. 

තරගාවලියේ පළමු දිනයේ දීම කාන්තා මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි අභිෂේකා විසින් ඊයේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වෙමින් මිනිත්තු 2.14.74ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට සහභාගී වූ නෙත්සර ලියනගේ විසින් මිනිත්තු 1.51.07ක තරග නිමි කාලයක් ද සමඟ පළමු ස්ථානය හිමි කර ගත්තේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමිනුයි. 

කාන්තා තුන් පිම්ම අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දී ඔශිනි කාවින්ද්‍යා විසින් සිය උපරිම දක්ෂතාව ලෙස මීටර් 12.16ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඇයට 08 වැනි ස්ථානය හිමි වුනා. 

මේ අතර ඊයේ දිනය තුළ කාන්තා සහ පිරිමි මීටර් 200 මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වුනා. මෙහි කාන්තා මූලික වටයේ පළමු තරගය නියෝජනය කළ දිලන්මා රන්සිනී විසින් තත්පර 23.97ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පළමු වැනියා ලෙස තරගය නිම කිරීමට සමත් වුනා. එමෙන්ම එම ඉසව්වේ තෙවැනි මූලික වටයේ තරගය නියෝජනය කල රිසන්සා හිරුපමා විසින් තත්පර 24.09ක තරග නිමි කාලයක් ද සමඟ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා ම අද දිනයේ දී ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතයි. 

එමෙන්ම මීටර් 200 පිරිමි ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ සදෙව් රාජකරුණා තත්පර 20.98ක තරග නිමි කාලයක් ද සමඟ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද සටහන් කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. එමෙන්ම තෙවැනි මූලික වටයේ තරගය නියෝජනය කළ ඔමෙල් ශෂින්ත විසින් තත්පර 21.07ක තරග නිමි කාලයක් සමඟ දෙවැනියා ලෙස තරගය අවසන් කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා ද අද දිනයේ ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි. 

පිරිමි මීටර් 110 ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දෙවැනි තරගයට සහභාගී වූ කවීශ ඩිල්ශාන් විසින් තත්පර 14.25ක තරග නිමි කාලයක් ද සමඟ 07 වැනියා ලෙසයි තරගය අවසන් කළේ. 

මේ අතර පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ තෙහාර රවිශ්ක විසින් මීටර් 15.40ක තරග නිමි කාලයක් වාර්තා කරමින් සිව්වැනියා ලෙස තරගය අවසන් කළා. එමෙන්ම එම ඉසව්වට සහභාගී වූ සසිඳු හන්සන විසින් මීටර් 15.06ක දක්ෂතාවක් දක්වමින් හයවැනියා ලෙසින් තරගය අවසන් කිරීමට සමත් වුනා. 

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවට හිමි වූ එකම පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් ජය ගැනීමට කාන්තා උස පැනීම ඉසව්ව නියෝජනය කළ මිහන්සා දෙව්මිණී සමත් වුනේ මීටර් 1.72ක දක්ෂතාවක් දක්වමිනුයි 

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව තබා සිටි විශාලතම පදක්කම් බලාපොරොත්තුව වූ පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සදෙව් රාජකරුණා සහ ඔමෙල් ශෂින්ත දෙදෙනා ම සහභාගී වූ අතර, ඔවුන් දෙදෙනා ම එකම තරග නිමි කාලයක් වාර්තා කිරීමට ද සමත් වුනා. ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 45.943ක් ලෙස සටහන් වූ අතර, මෙය සදෙව්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අබිබවා ගිය අප්‍රිකානු සම්භවයක් සහිත එක්සත් අරාබි එමීර් සහ කටාර් ක්‍රීඩකයින් තිදෙනෙකු සිය පෞද්ගලික හොඳම දක්ෂතා ද දක්වමින් මුල් ස්ථන තුනට පැමිණීමට සමත් වුනා. 

මේ අනුව සදෙව් සහ ඔමෙල් දෙදෙනාට සම සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු වුනා. 

ඒ අනුව ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව ලද ලෝකඩ පදක්කමත් සමඟින් ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් දෙකක් ජය ගැනීමට සමත් වී සිටිනවා. එමෙන්ම අද දිනය තුළ මෙම පදක්කම් සංඛ්‍යාව තවත් ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකාවට ඉතා ඉහළ අවස්ථාවක් පවතින බවත් සඳහන් කළ යුතුමයි. 

එම තරග විස්තර ද සමඟ මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<