චමරිගේ වෑයම අපතේ ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ හොඳ දියුණුවක්

66

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයට අද (24) සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරගයෙන් ද අවාසනාවන්ත ප්‍රතිඵලයකට මුහුණ දුන්හ.

ආරම්භය දියාරු කළ මැදපෙළ ගැටලුව නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2020 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු…

සත්කාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවති මෙම තරගයෙන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 5ක ජයක් ලබා ගත්හ. මේ වන විට තරගාවලියේ තරග 2කට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරග දෙකෙන්ම පරාජය වෙමින් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි තැනට වැටී ඇත.

පර්ත් හී W. A. C. A. ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තාය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගත්හ. ඒ ඉනිමේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දීය.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. ආරම්භක පිතිකාරිය ලෙසින් පිටියට පැමිණි හසිනි පෙරේරා ඉනිමේ තෙවැනි පන්දුවේ දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමට කිසිදු ලකුණක් එකතු නොවෙද්දීය. 

අනතුරුව දෙවැනි කඩුල්ලේ දී අනෙක් ආරම්භක පිතිකාරිනී නායිකා චමරි අතපත්තු සහ උමේෂා තිමාශිනී එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 38ක් දක්වා රැගෙන පැමිණියහ. උමේෂා පන්දු 20ක දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 20ක් ලබා සිටිද්දී ඉනිම හැර ගියේය. 

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් නායිකා චමරි අතපත්තු දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 91ක් ව තිබුණි. පෙර තරගයේ දී මෙම තරගයේ දී ලකුණු අතරට පිවිසි අතපත්තු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තාය. 

අනතුරුව අනුශ්කා සංජීවනී පන්දු 31කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද, නිලක්ෂි ද සිල්වා පන්දු 18කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගනිමින් ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ. 

කොදෙව්වන්ට ICCයෙන් දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය 22 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ …

අමා කාංචනා කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ශෂිකලා සිරිවර්ධන නොදැවී ලකුණු 5ක් සහ හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 2ක් ලබා සිටියහ. 

කඩුලු බිඳ දැමීමේ දී නිකොලා කේරි සහ මොලි ස්ට්‍රැනෝ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ලකුණු 123ක හඹායන ඉනිමකට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ගේ ඉනිම ද ශ්‍රී ලංකා ඉනිම සේ ම අවාසනාවන්තව ආරම්භ කිරීමට මඟ පැදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉනිමේ දෙවැනි පන්දුවේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගත් අතර සිව්වැනි පන්දුවාරය වන විට කඩුලු 3ක් ලකුණු 10කට දවා ගැනීමට ඔවුන් සමත් වූහ.

නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ නායිකා මැග් ලැනින්ග් සහ රචෙල් හෙන්ස් එක්ව ලකුණු 95ක සබඳතාවත් ගොඩ නගමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු සුන් කර දැමූහ. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් රචෙල් හෙන්ස් පන්දු 47ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා දැවී ගියාය. 

තරගය අවසන් වන විට නායිකා මැග් ලැනින්ග්  පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියාය. 

නිශාන් සහ ලහිරු දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A Group A මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රිකට්…

කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2ක් බැගින් දවා ගත් අතර චමරි අතපත්තු ද කඩුල්ලක් දවා ගත්තාය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් රචෙල් හෙන්ස් නම් කෙරුණි.  

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය පෙබරවාරි මස 29 වැනිදා ඉන්දියාව සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 122 (20) චමරි අතපත්තු 50,  උමේෂා තිමාශිනී 20, අනුශ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 18, නිකොලා කේරි 2/23, මොලි ස්ට්‍රැනෝ 2/23

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 123 (19.3) මැග් ලැනින්ග් නොදැවී 41, රචෙල් හෙන්ස් 60, උදේශිකා ප්‍රබෝධිනී 2/17, ශෂිකලා සිරිවර්ධන 2/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<