“රට වෙනුවෙන් ඔලිම්පික් යන්න තේරුණ මට කාගෙවත් පිහිටක් නෑ” මැරතන් ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ නිලූකා රාජසේකර

134

ලබන වසරේදී බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර හා මැරතන් ක්‍රීඩක අනුරාධඉන්ද්‍රජිත් කුරේ යන දෙදෙනා පමණි.

ඉන්ද්‍රජිත් කුරේ මේ වන විට එංගලන්තයේ වාසය කරන අතර ඔලිම්පික් යන ප්‍රථම මැරතන් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන නිලූකා රාජසේකර මේ වසරේ ජනවාරි 25දා හොංකොං හි පැවැති මැරතන් තරගය පැය 2යි විනාඩි40කින් නිම කරමින් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූවාය.

ඒ අනුව බලන විට ඉන්ද්‍රජිත් කුරේටත් පෙර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් යන්නට සුදුසුකම් ලැබූ මෙම ක්‍රීඩිකාව ගැන බලධාරීන්ගේ නිසි අවධානයක් නොමැති වීම ගැනද කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත මීළඟ ඉහළම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය කෙසේද යන්නට හොඳම සාක්ෂිය දරන්නේ නිලූකා රාජසේකර’මව්බිම’ට හෙළි කළ මෙම කතන්දරයයි.

“මම ඔලිම්පික් යන්න තේරුණේ මේ අවුරුද්දෙ ජනවාරි 25දායි. එදා සිට මේ වන තෙක් කාගෙන්වත් වචනයකින් හෝ කිසිම උදව්වක් නැහැ. කියන්න ඕන හැම තැනටම කිව්වා. මම වැඩ කරන තැන ආමි එකේ පඩිය හම්බවෙනවා. මාවෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම ආමි එකෙන් කරනවා.

මගේ පඩිය සම්පූර්ණ විදයම් කරන්නෙ පුහුණුවීම්වලටමයි. මේ ගැන කොතරම් පත්තරවල ගියත් මේ දේවල් භාරව ඉන්න වගකිවයුත්තො පත්තර බලන්නෙ නැද්ද මන්ද? මම ඔලිම්පික් තේරුණා කියල බලධාරීන් දන්නවාද දන්නෙත්නැහැ” යනුවෙන් ඇය පැවැසුවාය.

මෙම වත්මන් තත්ත්වය ගැන ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කළේද යන පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ නිලූකා කියා සිටියේ, ඔලිම්පික් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ඔලිම්පික් කමිටුව විසින්මාසිකව ලබා දෙන ඩොලර් 1000ක ශිෂ්‍යත්ව දීමනාව තමන්ට ලබා දීමට නොහැකි බව ඔලිම්පික් කමිටු ලේකම්වරයා පැවැසූ බවය.

කෙසේ වෙතත් නිලූකාට මාසිකව රුපියල් 40,000ක අනුග්‍රාහකත්වයක් ලබාදීමට ඔලිම්පික් කමිටුව තීරණය කිරීම පැසසිය යුතු අතර, එම ඩොලර් 1000ක මාසික දීමනාව (නිලුක කරුණාරත්නට පමණක් ඩොලර් 1500) ලබන පස්දෙනකුගේ ලැයිස්තුවේ කිසිවකු මීළඟ ඔලිම්පික් උළෙලට තවමත් සුදුසුකම් ලබා නොතිබීම කැපී පෙනේ. මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා පැවැසුවේ නිලූකා රාජසේකර තවමත්ඔලිම්පික් වරම් ලබා නොමැති බවය.