ඔස්ට්‍රේලියා තරගයේ අවසානය සුබවාදී වීමට නම් 

ICC U 19 Cricket World Cup 2024

159

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යෞවනයෝ සහභාගී වන 3 වැනි තරගය අද (28) Bloemfontein හී Mangaung Oval ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවැත්වේ.

මේ වෙද්දී ඔවුනොවුන් සහභාගී වන C කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු පුවරුවේ ශුද්ධ දළ වේගය අනුව පළමු ස්ථානයට පත් ව ඇති කණ්ඩායම වී සිටිනවා. ඔවුන් මේ වන විට 3.979ක ශුද්ධ දළ වේගයක් පවත්වාගෙන යමින් සිටින අතර දෙවැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 1.611ක ශුද්ධ දළ වේගයක්.

කෙසේ වෙතත් දෙපිලේ ම ක්‍රීඩකයෝ ඉදිරියේ දී Group 2 යටතේ පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 6 අතරට එක් ව සිටින බැවින්, ඔවුන් සහභාගී වෙන මෙම තරගයේ දී තීරණය වන්නේ එම කාණ්ඩයේ පළමු වැන්නා කවුද යන්නයි.

දෙරටේ යොවුන් එක්දින තරග ඉතිහාසය

1988 වසරේ දී පැවැති මංගල යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් මෙන් ම 2002 සහ 2010 වසරවල ද ජයග්‍රාහකයන් වන්නේ ඔස්ට්‍රේලියාවයි. ඊට අමතර ව 2012 වසරේ දී සහ 2018 වසරේ දී අනුශූරයන් වන ඔවුන් ආසන්නතම යොවුන් ලෝක කුසලානයේ දී තෙවැනි ස්ථානය දිනා ගත්තා.

එමෙන් ම නිමා වූ ලෝක කුසලාන තරගමාලා 14 දී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග 7ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් අවස්ථා 4ක දී ඔස්ට්‍රේලියාව ද සහ අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා.

අවසන් වරට දෙරට ක්‍රීඩකයෝ හමුව ඇත්තේ නිමා වූ 2022 ලෝක කුසලාන තරගාවලියේදීයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකාව මෙම තරගය සඳහා එක් වෙන්නේ පැවැති තරග 2 ම ජයග්‍රහණය කරමින් C කාණ්ඩයේ 2 වැනි අසුනට හිමිකම් කියමිනුයි.

6 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 21, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – සිම්බාබ්වේ

o තරගයේ වීරයා – දිනුර කළුපහන

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 204 (48.3)
  • සිම්බාබ්වේ 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 89 (21.1)

ශ්‍රී ලංකාවට ඩක්වර්ත් න්‍යාය මත ලකුණු 39ක ජයක්.

12 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 24, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – නැමීබියාව

o තරගයේ වීරයා – සුපුන් වඩුගේ

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 133 (37.5)
  • නැමීබියාවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 56(27.0)

ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක්.

නිමා කළ එම තරග 2 ම ජයග්‍රහණයෙක් අවසන් වූව ද ශ්‍රී ලංකා බලඇණියේ සාර්ථක පිතිකණයක් නොවීම බලවත් අඩුවක්. ඔවුන් නිමා වූ ආසන්නත ම තරගයේ දී නැමීබියාව ඉදිරියේ ද ලබා ගන්නේ ලකුණු 133ක් පමණයි.

එම ඉනිමේ ඉලක්කම් 2 ලකුණු රැස් කරගත් පිතිකරුවන් සිටියේ සිවු දෙනෙක් පමණයි. ඒ අතුරින් තම පළමු තරගයට ක්‍රීඩා කළ සුපුන් වඩුගේ පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා ගන්නවා. එසේ නොවන්නට ශ්‍රී ලංකා ඉනිම 100කට මෙපිටින් තැබීමට නැමීබියාවනුවන්ට හැකි වෙනවා නියතයි.

ඔස්ට්‍රේලියාව වැනි දක්ෂ කණ්ඩායමක් හමුවේ, මේ පිතිකරු බලඇණියේ දක්ෂතා ගැන කිසිසේත් ම සෑහීමකට පත් විය නොහැකියි. එබැවින් ඔවුන්ගේ පිඹිදීමක් වහා අවශ්‍යයි. ඊට පිතිකරුවන් ලෙසින් නම් ලද ක්‍රීඩකයන් සේ ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ ද තම තමන්ගෙන් පෙර තරග 2 දී සිදු වූ වැරදි අවම කර ගන්නේ නම් ඔස්ට්‍රේලියාව සමඟ තරගයේ අවසානය ද සුබවාදී වනු ඇතැයි සිතිය හැකියි.

නොමැතිව සියලු වගකීම් පන්දු යවන්නන් මත ම පටවා ඔවුන්ගෙන් ම තරගයේ පාලනයක් බලාපොරොත්තු වන්නේ නම් එය කණ්ඩායමක් ලෙසින් දක්වන විශාල දුර්වල කමක් ලෙසින් හැඳින්විය හැකියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නිමා වූ තරග ද්විත්වයේ දී ම ප්‍රතිවාදීන් ලකුණු 100කට මෙපිටින් තැබීම ඇගයිය යුතුයි. එම තත්ත්වය ම මෙම තරගයේ දී සිදු වෙන්නේ ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, සුපුන් වඩුගේ, රවිශාන් ද සිල්වා, රූසඳ ගමගේ, දිනුර කළුපහන, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, විශ්ව ලහිරු, රුවිශාන් ‍පෙරේරා, ගරුක සංකේත්.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සූදානම

ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ පහසු ඉලක්කයක් පසු කරමින් මෙන් ම දැවැන්ත ලකුණු පුවරුවක් ද නිර්මාණය කළ ජයග්‍රාහී තරග 2ක නිමාවෙනුයි.

9 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 22, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව

o තරගයේ වීරයා – Callum Vidler (ඔස්ට්‍රේලියාව)

  • නැමීබියා 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 91 (33.1)
  • ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 95 (19.5)

ඔස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්.

16 වැනි තරගය, Group C, Kimberley, ජනවාරි 25, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව

o තරගයේ වීරයා – Harry Dixon (ඔස්ට්‍රේලියාව)

  • ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 296 (50.0)
  • සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 71 (23.2)

ඔස්ට්‍රේලියාවට ලකුණු 225ක ජයක්.

නිමා වූ පළමු තරගයේ දී නැමීබියාවේ අඩු ලකුණු ප්‍රමාණය පසු කිරීමට ඔස්ට්‍රේලියානුවෝ කඩුලු 6ක් වැය කළ ද ඔවුන් දෙවැනි තරගයේ දී විශ්වසනීය පිතිකරණයකට යොමු වෙමින් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 7කට ලකුණු 296ක් ලබා ගන්නවා. ඉන් නොනැවතෙන ඔවුන් පන්දු යවනන්ගේ ද උපරිම දක්ෂතා එම තරගයට එක් කරනවා.

මේ විශ්වාසය ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොවේ, ඉදිරියේ දී පැවැත්වෙන සුපිරි 6 වටයේ ප්‍රතිවාදීන්ට ද ඔවුන් ලබා දෙන නපුරු සංඥාවක් ලෙසින් හැඳින්විය හැකියි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපෙළින් පිටියට පිවිසෙන Harry Dixon, Sam Konstas සහ නායක Hugh Weibgen  මේ වෙද්දී ඔවුන්ගේ උපරිම දක්ෂතා අතරට පිවිස සිටින අතර මැදි පෙළින් පිටියට පිවිසෙන Tom Campbell ද විශ්වසවන්තනීය පිතිකරුවෙක් වී තිබේ.

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ද ඔවුන්ට නියත තෝරා ගැනීම් කිහිපයක් ඇති අතර යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් වේ නම් ඒ පෙර තරගයට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වූ Harkirat Bajwa සේ ම, ඊට පෙර තරගයට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක් වූ Callum Vidler ද මෙම තරගයේ දී කෙලෙස එකට කණ්ඩායමට එක් කරන්නේ ද යන්නයි.

එසේ වුවහොත් බොහෝ විට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් නම් කරන ලද Aidan O’Connor මෙම තරගයෙන් ඉවත් කර ඉහත දෙදෙනා ම ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායමට එක් කරතැයි සිතිය හැකියි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Hugh Weibgen  (නායක), Harry Dixon, Sam Konstas, Harjas Singh, Ryan Hicks (කඩුලු රකින්නා), Tom Campbell, Aidan O’Connor / Callum Vidler, Charlie Anderson, Tom Straker, Harkirat Bajwa, Mahli Beardman.

Bloemfontein හී Mangaung Oval ක්‍රීඩාංගණය

මේ දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී මෙම ක්‍රීඩාංගණයට එක් වෙන පළමු තරගයයි. මෙම තරගාවලියේ දී මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ තරග 5ක් පවත්වා තිබෙනවා.

පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය යැයි සැලකෙන තණතිල්ලකින් සපිරි මෙම ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා පළමු වෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීම වඩාත් යෝග්‍ය යැයි පැවැසෙනවා.

කෙසේ වෙතත් පැවැති තරග දෙකේ දී ම ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධනට කාසියේ වාසිය අහිමි වූ බැවින් මෙම තරගයේ පළමු අභියෝගය වන්නේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තමන්ට රිසි තීරණයකට එළැඹීමයි.

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<