WTC අවසන් මහා තරගය Lord’s පිටියට ලැබෙන ලකුණු

1784
Lord's likely to host World Test Championship final in 2023

2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය බොහෝ විට සුප්‍රකට Lord’s ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ඉඩක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ පැවති ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ද Lord’s හීදී පැවැත්වීමට පෙර සැලසුම් කර තිබුනත්, එංගලන්තය තුළ ක්‍රියාත්මක වූ කොරෝනා නීති නිසාවෙන් තරගය Southampton හි Ageas Bowl ක්‍රීඩාංගණයට ගෙන යාමට සිදු වුනා.

Ageas Bowl ක්‍රීඩාංගණයේ පැවති එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදවා ලෝක ටෙස්ට් කිරුළ දිනා ගැනීමට නවසීලන්තයට හැකි වුනා.

මේ වන විට එක්සත් රාජධානිය තුළ කොරෝනා සීමාවන් අවසන් වී ජෛව ආරක්ෂිත බුබුළුවලට අදාළ නීති ලිහිල්ව ඇති නිසාවෙන් මෙවර අවසන් තරගය Lord’s පිටියේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳව BBC වෙත අදහස් දක්වමින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරි Greg Barclay ප්‍රකාශ කළේ,

“මම හිතන්නේ එය Lord’sහි පැවැත්වීමට නියමිතයි. සෑමවිටම අපේ අරමුණ වුනෙත් ඒක. ජුනි මාසය පැමිණ තියෙන නිසා අපි අවසන් තරගය පවත්වන ක්‍රීඩාංගණය පිළිබඳව තීරණය ගන්න ඕන. අපි දැන් කොරෝනා වසංගතයෙන් බැහැරව තියෙන නිසා අදාළ නිතීන්ට යටත්ව Lord’s ක්‍රීඩාංගණය ලබා ගැනීමයි අරමුණ”, යනුවෙන්.

කෙසේ නමුත් එම අවසන් මහා තරගය පවත්වන ක්‍රීඩාංගණය පිළිබඳව තීරණය ගැනීමට පෙර සිදු කළ යුතු තවත් කාර්යයන් කිහිපයක්ම ඇති අතර එම ක්‍රීඩාංගණය පිළිබඳව ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමෙන් පසුව නිවේදනය කිරීමට නියමිතයි.

“ඒ වගේම පිරිමි ටෙස්ට් තරගයන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය සහ උරුමය ප්‍රදර්ශනය වෙන දෙයක්. එය ක්‍රීඩාව චමත්කාර කරනවා. ඒත් ක්‍රිකට් මූල්‍යම වශයෙන් ඉදිරියට ගෙන යාමට හැකි අනෙක් ආකෘතීන් තියෙන එක අපේ වාසනාවක්. ටෙස්ට් ක්‍රීඩාව ගැන සහ ඒක ඔවුන්ට ක්‍රීඩා කරන්න ඕන කියලා ඕනෑම ක්‍රීඩකයෙක් කියයි.”

“ලෝක ටෙස්ට් ශූරතාවය විසින් ටෙස්ට් ක්‍රීඩාවට යම් වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඒ නිසා තවත් වසර 10-15ක කාලයකට ටෙස්ට් ක්‍රිකට් අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි මම දකින්නේ. සමහර වෙලාවට ටෙස්ට් තරග අඩුයි. සමහර රටවල් ටෙස්ට් තරග අඩුවෙන් ක්‍රීඩා කරන නිසා වෙන්න පුළුවන් එහෙම වෙන්නේ. ඒත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සුපුරුදු පරිදි වැඩි ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරනවා”, යැයි Greg Barclay වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<