මේධානි අවසන් පූර්ව වටයේ දීත් හොඳම කාලයට

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

471

කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ මේධානි ජයමාන්න එහි දී නැවතත් ඇයගේ හොඳම පෞද්ගලික කාලය සමඟින් 4 වැනි ස්ථානය දිනා ගත්තා.

නමුත් ප්‍රථම ස්ථාන දෙක පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා නිසාවෙන් ඇයගේ පදක්කම් සිහිනය බිඳ වැටුණා.

අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා පැවැත්වෙන තරගාවලියේ තෙවැනි දිනය වන අද දිනයේ මෙරට වේලාවෙන් දහවල් 1:20ට මීටර් 200 සුදුසුකම් ලබා ගැනීමේ තරග ආරම්භ වුනා.

එහි දී දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා සහභාගී වූ මේධානි තත්පර 24.01 (PB) කාලයක් වාර්තා කරමින් සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ තරගය සවස 7:10ට ආරම්භ වූ අතර එහි දී තත්පර 23.95 කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කරන්නට ඇය සමත් වුනේ, සුදුසුකම් ලබා ගැනීමේ දී වාර්තා කළ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද නැවත අලුත් කරමින් වීම විශේෂත්වයක්.

මේධානි මෙම තරගාවලිය සඳහා කේවල ඉසව් දෙකකින් සුදුසුකම් ලබා ගත් අතර අනෙක් ඉසව්ව වූ මීටර් 100 අවසන් පූර්ව වටය දක්වා ඇය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවත් එහි දී ඉසව්ව අවසන් කළේ සමස්ත ඉසව්වේ 21 වැනි ස්ථානය දිනා ගනිමිනුයි.

තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව තරග සඳහා අද සහභාගී වුනා. ඒ ඊයේ (19) පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී මිනිත්තු 2:13.70ක කාලයක් වාර්තා කරමින් තෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරමිනුයි.

සවස 6:50ට පමණ ආරම්භ වූ අවසන් පූර්ව තරගය ඇය අවසන් කළේ මිනිත්තු 2:17.82 කාලයක් වාර්තා කරමින් 8 වැන්නා ලෙසයි. ඒ අනුව ඇයගේ ද පදක්කම් සිහිනය අද දිනයේ දී බොඳව ගියා.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනා.

බාලක:

  • ඉසුරු අබේවර්ධන (ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම) – 400m සහ 4x400m මිශ්‍ර සහය 
  • යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර (වෑකඩ මහා විද්‍යාලය) – 4x400m මිශ්‍ර සහය 
  • එච්. එච්. ආර්. එස්. ජයසුන්දර (ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය) – 4x400m මිශ්‍ර සහය

බාලිකා:

  • කේ. ශානිකා ලක්ෂානි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 800m
  • තරුෂි කරුණාරත්න (වලල ඒ රත්නායක විද්‍යාලය) – 800m සහ 4x400m මිශ්‍ර සහය
  • බී. අයි. මේධානි ජයමාන්න (ලුම්බිණි විදුහල) – 100m සහ 200m
  • බී. සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 4x400m මිශ්‍ර සහය

ඉසුරු අබේවර්ධන සහභාගී වූ පිරිමි මීටර් 400 මූලික වටයේ තරගවල දී තත්පර 48.02ක කාලයක් වාර්තා කළ ඔහුට හිමි වුනේ මූලික වටයේ හත්වැනි ස්ථානයයි. ඔහුටත් අවසන් පූර්ව වටයේ ඉඩක් හිමි වුනේ නැහැ.

4X400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම මූලික වටයේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ නමුත් එහි දී ඔවුන්ට හිමි වුනේ හත්වැනි ස්ථානයයි.

තරුෂිට අමතරව මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගත් අනෙක් ක්‍රීඩිකාව වූ ශානිකා ලක්ෂානි මූලික වටයේ දී මිනිත්තු 2:20.37 කාලයක් වාර්තා කරමින් 5 වැනි ස්ථානය දිනා ගත්ත ද, ඇයට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා.

අද දිනයේ තරග සමඟින් තරගාවලිය සඳහා සහභාගී වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉසව් අවසන් වන අතර කිසිවෙකුත් එහි දී පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් නොවුනත් ඔවුන්ගේ උපරිමය රට වෙනුවෙන් ලබා දෙන්නට සමත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ගැන ඔබේ අදහස් පහළින් Comment කරන්න. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<