පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවේ පරාජය වෙයි!

147

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (29) උදෑසන සිදු වුනා.

මෙවර ලෝක කුසලානයට ආරම්භය ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ඒ අනුව ඔවුන් නෙදර්ලන්තයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

මෙහි දී නෙදර්ලන්තය විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් වූ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග පන්දු යැවීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.

නෙදර්ලන්ත ඉනිමේ දී කඩුලු 2ක් දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක විසින් සමත් වුනා.

නෙදර්ලන්තයෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 59ක් තුළ බිඳ වැටුණු අතර, ඒ වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 10ක්ම අවසන් වී තිබුණේ තරගයේ ජයග්‍රහණයක සේයාවක් හෝ ශ්‍රී ලංකාවට නොපෙනෙන මට්ටමකයි. කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ වනිඳු විසින් තරගයේ 12 වැනි පන්දුවාරයේ පළමු පන්දු 5ට ම හයේ පහර පහක් එල්ල කිරීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ වුනා. වනිඳු පන්දු 15කින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් අවශ්‍ය ම මොහොතවල දී කඩුලු දැවී යාම නිසා ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුලු ලකුණු 161ක් තුළ දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ඒ අනුව ඔවුන්ට තරගයෙන් ලකුණු 20ක ජයක් හිමි වුනා.

  • නෙදර්ලන්තය – 181/5 (20)
  • ශ්‍රී ලංකාව – 161/5 (19.1) වනිඳු හසරංග 43, දසුන් ශානක 35, ධනංජය ද සිල්වා 31

ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ පුහුණු තරගය එළඹෙන 31 වැනි දා අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<