Moeen Aliට සනීපයි

121
 

එංගලන්ත ක්‍රීඩක Moeen Ali සිය ස්වයං නිරෝධායන කාලය නිමා කරමින් එංගලන්ත සංචිතය හා එක්ව තිබේ. ඒ PCR පරීක්ෂණ දෙකකින් අනතුරුවය.

තරගයේ තෙැවින දිනය වූ ඊයේ (17) තේ පානය අතරතුර Moeen Ali ගාල්ල ක්‍රීඩාංගණයේ එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින ක්‍රීඩාගාරය වෙත පැමිණියා.

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේ දී තහවුරු විය. ඉන් අනතුරුව ඔහු දින 10ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

33 හැවිරිදි Moeen Ali කොරෝනා වයිරසයේ සුළු රෝග ලක්ෂණ කීපයක් පෙන්නුම් කර තිබුණි. ඒ අනුව ඔහු එංගලන්ත කණ්ඩායම රැඳී සිටින හෝටලයේ වෙනම අංශයක ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ අතර මෙරට සහ එංගලන්ත වෛද්‍යවරුන් විසින් ඔහු නිරන්තරයෙන් අධීක්ෂණය කළා. ඔහුගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගත් Chris Woakes ද ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණි.

කෙසේ වෙතත් Moeen Ali හට ආසාදනය වී ඇත්තේ පසුගිය මාසයේ දී එක්සත් රාජධානියෙන් වාර්තා වූ නව වයිරස් ප්‍රභේදය බව මෙරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කළා. ඒ අනුව Moeen Aliගේ ස්වයං නිරෝධායන කාලසීමාව තවත් දින කීපයකින් දීර්ඝ කිරීමට තීරණය විය. පසුව Moeen Ali දින 13ක කාලයක් නිරෝධායනයට ලක්විය.

එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් අනතුරුව කිසිදු පුහුණු සැසියක් සඳහා Moeen Ali සහභාගී නොවූ නිසා ඔහු දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම මෙතෙක් තහවුරු කර නොමැත. සති 10ක දීර්ඝ ආසියානු සංචාරයක් සඳහා එක්ව සිටින එංගලන්ත කණ්ඩායමට ඔහුගේ නැවත එක්වීම තරමක ධනාත්මක ආකල්පයක් වනු නොඅනුමානය.

තවත් ක්‍රිකට් පුවත්: 

“Moeen Ali නැවත කණ්ඩායමට එක්කරගන්න ලැබීම සතුටක්. තේ පානයට තරගය නතර කරලා අපි ක්‍රීඩාගාරයට යද්දී අපි දැක්කා Moeen ඇවිල්ලා ඉන්නවා. අපි හැමෝගෙම මුහුණේ හිනාවක් තිබුණා. අපි දන්නවා Moeenට ඉතාමත් දුෂ්කර සති දෙකක් වුනා මේ කාලය. අපි කාටවත් ඔහු මුහුණ දුන්න ඒ අත්දැකීමට ආයෙත් මුහුණ දෙන්න ඕනේ නැහැ. ඔහු සුව වුන එක ගැන ගොඩක් සතුටුයි. අපි හැමෝම බලාගෙන හිටියා ඔහු ආයෙත් එනකම්. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම තරගයෙන් එළියේ ඉතාමත් හොඳ පුද්ගලයෙක්” තුන්වැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවක දී එංගලන්ත ක්‍රීඩක Sam Curran පවසා සිටියා. 

තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් හොඳ සම්බන්ධතා කීපයක් ගොඩනැගීමට සමත් වූ අතර එංගලන්ත කණ්ඩායමට Moeenගේ සේවය අහිමි වීම වඩාත් දැඩිව දැනෙන්නට ඇත. එංගලන්ත දඟපන්දු යවන්නන් වන Dom Bess සහ Jack Leach හට තෙවැනි දිනය එතරම් සුබදායී වූයේ නැත. 

මේ අතර එංගලන්ත කණ්ඩායම රැඳී සිටින ගාල්ලේ පිහිටි හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (16) වාර්තා විය. කෙසේ වෙතත් ඔවුන් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු සමඟින් සමීප සම්බන්ධතාවක් පවත්වා නොමැති බවත්, එංගලන්ත කණ්ඩායමට එමඟින් කිසිදු අවදානමක් නොමැති බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

හෙට (18) තරගයේ අවසන් දිනය වන අතර ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<