ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ගැන තීන්දුවක් ගන්න ICCයෙන් කමිටුවක්

5325

තලේබාන් රජය යටතේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පසුගිය දා නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

පසුගිය වසර කීපය තුළ මෑත වසරවල දී ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල නාමයක් බවට පත්වූ අතර ඔවුන්ගේ නැගීම සුරංගනා කතාවක් බඳු වුනා. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තාන පාලනය තලේබාන් කැරළිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු එරට ආරවුල් කීපයක් ඇති වී තිබෙන අතර ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තරයෙන් හුදකලා වීමේ අවදානමක් තිබෙනවා.

කාබුල්හි නව රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට තහනම් කරන්නේ නම් මේ මස අගදී ඇෆ්ගනිස්තානය සමඟින් Hobart හි පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගය අවලංගු කරන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම ගැටලුව සඳහා මැදිහත් වී ඇත්තේ ඒ අනුවයි.

“පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ඇෆ්ගනිස්තාන ක්‍රිකට්වලට අඛණ්ඩව සහය දැක්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විදිහට අපි කැප වී සිටිනවා”, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සභාපති Greg Barclay නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට සහය දක්වන්න වඩාත්ම ඵලදායී මාර්ගය වෙන්නේ නව රජය සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඒ තුළින් අපගේ සාමාජිකයාට සහාය වීම කියලා අපි විශ්වාස කරනවා.”

පසුගිය තලේබාන් පාලනය විසින් පනවා තිබූ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන තහනම සහ පිරිමි භාරකරුවෙකු නොමැතිව ප්‍රසිද්ධියේ යාමේ තහනම වැනි නීති නැවත සිදු නොකරන බව වත්මන් තලේබාන් නිලධාරීන් පවසා තිබෙනවා.

“ක්‍රිකට් කියන්නේ මිලියන 35ක ඇෆ්ගන් වැසියන්ගේ බලාපොරොත්තුවල සහ සතුටේ මූලාශ්‍රයක්. අපි ක්‍රිකට් ආයතනයක් විදිහට අපේ නව රජය සමඟ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟින් වගේම අනෙකුත් රටවල් සමඟ ඵලදායී සබඳතා පවත්වා ගැනීමට කැපවී සිටිනවා”, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ (ACB) සභාපති Mirwais Ashraf නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

“අපි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සහ ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට සහ එහි ක්‍රියාකාරී මණ්ඩලයට දන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ට අපේ පූර්ණ සහාය සහ සහතිකය ලබා දෙන්න අපි කටයුතු කරමින් සිටිනවා.”

ඇෆ්ගනිස්තානයට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දෙමින් පූර්ණ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා දිය හැකි ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමු වී ඇති කරුණක්. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව පසුගිය සතියේ ඩුබායි හි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නම් කළ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයකු ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වන Ramiz Raja ද නම් කර තිබෙනවා.

“ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ ආරවුල් තිබෙනවා. පුද්ගලයන් දෙතුන් දෙනෙක්ම තමන් නීත්‍යනුකූල නියෝජිතයා බව පවසමින් අපේ රැස්වීමට ආවා. රැස්වීමේ දී බොහෝ ව්‍යාකූලත්වයක් ඇති වුනා”, Ramiz Raja මාධ්‍යවේදීන් සමඟින් පවසා තිබුණා.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔවුන්ට රැස්වීමට සහභාගි වෙන්න ඉඩ නොදෙන්න තීරණය කළා. නමුත් ඒ තීරණය ඔවුන්ගේ අරමුදල්වලට හෝ ඔවුන්ගේ ක්‍රිකට්වලට බලපාන්නේ නැහැ.”

තලේබාන් සංවිධානය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී පිරිමි ළමයින්ට පමණක් නැවත පාසල් යාමට අවසරය ලබා දී තිබුණා. වැඩිහිටි ගැහැණු ළමයින්ට කොන්දේසි කීපයක් පනවා තිබූ අතර ඔවුන්ට නැවත පාසල් පැමිණීමට ඉඩ දෙන තෙක් නිවසේ රැඳී සිටීමට නීති පනවා තිබීම විශේෂත්වයක්.

මෙම නීති ගෝලීය වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර රටවල් රැසක් එය හෙළා දැක තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල තීරණයක් ගෙන නොමැති බවත් එරට ප්‍රදේශ කීපයක ගැහැණු ළමයින් නැවත පාසල් ගොස් ඇති බවත් ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

“බොහෝ දෙනෙකුට වඩා වැඩි පෙරළියක් හා වෙනසක් අත්විඳ ඇති තරුණ ජනගහනයක් සිටින රටක ජාතික පිරිමි කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්ථානයේ ධනාත්මක වෙනසකට බලපෑම් කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව වාසනාවන්ත වුනා”, Barclay තවදුරටත් පවසා සිටියා.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ලෙස අපි එම තත්ත්වය ආරක්ෂා කළ යුතුයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය හරහා අපි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් වලට බලපෑම් කිරීමට දිගටම උත්සාහ කරන්න ඕනේ. නමුත් අපි මේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරලා ඒ අනුව තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා.”

Hindustan Times ඇසුරිනි  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<