තරංග, වීරක්කොඩි සහ ප්‍රසාද් EPL හි වැඩපෙන්වයි

එවරට්ස් ප්‍රිමියර් ලීග් 2021

1146

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, සඳුන් වීරක්කොඩි සහ හිටපු වේගපන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් එවරට්ස් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගවල දී කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත්ව තිබෙනවා.

Kirtipur ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Bhairahawa Gladiators සහ Lalitpur Patriots කණ්ඩායම් අතර පැවති තරගයේ දී අර්ධ ශතක දෙකක් වාර්තා වුනු අතර තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

කෙසේ නමුත් සුපිරි පන්දුවාරයක් දක්වා මේ තරගය ඇදී ගියේ නැහැ. එයට හේතුව වුනේ ක්‍රීඩාංගණයේ ආලෝක තත්වය ක්‍රීඩා කිරීමට උචිත මට්ටමක නොමැති වීම සහ කෘතීම ආලෝකය මේ ක්‍රීඩාංගණයේ නොමැති වීමයි.

ලකුණු 29කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ Bhairahawa Gladiators ඉනිම මැදපෙළින් සවිමත් කළ තරංග, පන්දු 44ක් තුල නොදැවී වේගවත් ලකුණු 67*ක් රැස්කළා. එම ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනු අතර එය තරංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබා ගත් 19 වැනි අර්ධ ශතකය වුනා.

වමත් ආරම්භක පිතිකරුවෙකු වන සඳුන් වීරක්කොඩි Lalitpur Patriots වෙනුවෙන් මේ තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා. ඔහු පන්දු 41ක් තුල ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වුනේ 4 පහර 2ක් සහ 6 පහර 5කින් සිය ඉනිම වර්ණවත් කරගෙනයි.

එසේම Bhairahawa Gladiators කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයා වන ධම්මික ප්‍රසාද් මේ තරගයේ දී ලකුණු 30කට කඩුල්ලක් දවා ගනිමින් ඔහුට නියමිත පන්දුවාර 4 අවසන් කළා. ප්‍රසාද් තරගාවලිය පුරාවට තරග 3ක දී කඩුලු 5ක් දවාගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි ස්ථානය දිනාගෙන සිටිනවා.

EPL තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වන අතර තරගාවලියේ තරග 10ක් අවසානයේ එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ Bhairahawa Gladiators කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<